හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් හෝටලයකට පහර දී අලාභ සිදුකිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී මොහොමඩ් අනාස් ඇතුළු දස දෙනෙකුට, කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය විසින් ඊයේ දින අත්හිටවූ සිර දඬුවම් නියම කරන ලදී.
ඒ අනුව, එක් එක් විත්තිකරුට බරපතල වැඩ සහිතව වසර දෙකක සිර දඬුවමක් නියම කෙරුණු අතර, එම දඬුවම වසර 10 ත් 15 ත් අතර කාලයකට අත්හිටුවීමට විනිසුරුවරිය නියෝග කළාය. ඊට අමතරව, විත්තිකරුවන් නව දෙනෙකුට රුපියල් 65,000 බැගින් ද, හෝටලයෙන් ලැප්ටොප් පරිගණකයක් සොරකම් කිරීමේ චෝදනාවට ලක්වූ අනෙක් විත්තිකරුට රුපියල් 80,000 ක දඩ මුදලක් ද නියම කෙරිණි.
2022 වසරේ මැයි මස 09 වන දින ගාලු මුවදොර අරගල භූමියට පහර දීමේ සිද්ධියෙන් පසුව, කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි හිටපු අමාත්‍යවරයාගේ සංචාරක හෝටලයට පොලු මුගුරු රැගෙන කඩා වැදී අලාභ හානි සිදු කිරීම සහ එහි නවතා තිබූ වාහන දෙකකට හානි කිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබිණි.
නඩුව විභාගයට ගත් අවස්ථාවේදී, විත්තිකරුවන් චෝදනාවලට වරද පිළිගැනීමට සහ සිදු වූ අලාභය වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීමට සූදානම් බව ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයට දැන්වූහ. අගතියට පත් පාර්ශ්වය එම යෝජනාවට එකඟ වන්නේ නම්, නඩුව අවසන් කිරීමට විරුද්ධත්වයක් නොමැති බව රජයේ නීතිඥවරිය මෙහිදී ප්‍රකාශ කළාය.
කෙසේ වෙතත්, හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා අධිකරණයට දන්වා සිටියේ, විත්තිකරුවන් පිරිනැමූ වන්දි මුදල සිය සේවාදායකයා ප්‍රතික්ෂේප කරන බවයි. සිද්ධිය වූ දිනයේ විත්තිකරුවන් පෙට්‍රල් යොදා හෝටලය ගිනි තැබීමට උත්සාහ කළ බවත්, එම උත්සාහය වැළකී ඇත්තේ විදේශීය සංචාරකයින්ගේ මැදිහත්වීමෙන් බවත් ඔහු පෙන්වා දුන්නේය. රුපියල් මිලියන නවයක පමණ අලාභයක් සිදුවී ඇති නමුත්,
විත්තිකරුවන් වරද පිළිගෙන ඇති බැවින් කිසිදු වන්දියක් අපේක්ෂා නොකරන බවද නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
විත්තිකරුවන්ට පෙර වැරදි නොමැති බැවින් ලිහිල් දඬුවමක් ඉල්ලා සිටියද, දසවන විත්තිකරු සම්බන්ධයෙන් එම කරුණ අසත්‍යයක් බව මහාධිකරණ විනිසුරුවරිය පෙන්වා දුන්නාය. විත්තිකරුට සිය පෙර වැරදි අමතක වී ඇත්නම්, එය මතක හිටින දඬුවමක් ලබාදීමට අධිකරණය සූදානම් බවට ඇය අනතුරු ඇඟවූ අතර, ඉන් අනතුරුව විත්තිකරු තමාට පෙර වැරදි ඇති බව පිළිගත්තේය.
විත්තිකරුවන් සිදු කර ඇත්තේ බරපතල වරදක් වුවද, නීතිඥවරුන්ගේ කරුණු සලකා බලා යළි සමාජගත වීමට අවස්ථාව ලබාදෙන දඬුවමක් නියම කරන බව විනිසුරුවරිය සිය තීන්දුව ප්‍රකාශ කරමින් පැවසුවාය. නියම කරන ලද දඩ මුදල් ගෙවා ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා නඩුව අගෝස්තු මස 28 වන දින නැවත කැඳවීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval