rohithas-son-in-law-in-jagaths-son-out

 නීතිවිරෝධී ලෙස මෙරට තුළ එකලස් කර ව්‍යාජ තොරතුරු මත ලියාපදිංචි කළ බවට චෝදනා එල්ල වූ ජීප් රථයක් සම්බන්ධයෙන් පොලීසිය මගින් සොයමින් සිටි, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑණනුවන් වන ධනුෂ්ක වීරක්කොඩි, අද (24) දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමෙන් අනතුරුව අගෝස්තු මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.





අදාළ ජීප් රථ ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් ඔහු අත්අඩංගුවට ගැනීමට දින කිහිපයක් තිස්සේම සොයමින් සිටි පසුබිමක, ධනුෂ්ක වීරක්කොඩි මහතා අද පෙරවරුවේ අධිකරණයට පැමිණ භාර විය. මෙම ජීප් රථය නීතිවිරෝධීව මෙරටට ගෙන්වා, අසත්‍ය දත්ත ඉදිරිපත් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවට පොලිස් පරීක්ෂණ මගින් කරුණු හෙළිදරව් කරගෙන ඇත.

මෙම සිදුවීමේ මූලාරම්භය වූයේ, සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා වන රසික විතාන, ඉකුත් 19 වනදා මතුගම නගරයේදී මෙම ආන්දෝලනාත්මක ජීප් රථය පදවාගෙන යමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමගය. තමා මෙම රථය මිලදී ගනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියගෙන් බවට රසික විතාන මහතා ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර තිබිණි.

එම ප්‍රකාශය මත පදනම්ව, රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන මෙලනි අබේගුණවර්ධන සහ ඇගේ සැමියා වන ධනුෂ්ක වීරක්කොඩි අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ඔවුන්ගේ නිවසට ගියද,

ඔවුන් එහි නොසිටි බැවින් පසුගිය දින කිහිපය පුරාම ඔවුන් අත්අඩංගුවට ගැනීමට බැරිව තිබුනි. කෙසේ වෙතත් රෝහිතගේ දියණිය තවම අධිකරණයට ඉදිරිපත්ව නැත.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන්ම අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයේ පසුවූ මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත් රසික විතාන මහතාට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද දින ඇප නියම කරන ලදී. රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.