
ප්‍රශ්නගත ටොයෝටා වර්ගයේ මෝටර් රථයක් එම දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ඇතුළත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් එය වළක්වාලන නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු
නියෝජ්‍ය සහකාර කොමසාරිස්වරියක් වන සූරියා ප්‍රියංගනී මහත්මිය ගොනුකර තිබූ අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය ඊයේ (8දා) ප්‍රතික්ෂේප කළාය.සිද්ධියට අදාළව අල්ලස් කොමිසම තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් තමන්ට අපේක්ෂිත ඇපයක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය සහකාර කොමසාරිස්වරිය ඉකුත් තුන්වැනි දින නීතිඥවරයකු මඟින් ගොනු කළ පෙත්සමක් ඊයේ (8දා) නැවත කැඳවූ අවස්ථාවේදී අධිකරණයෙන් එසේ නියම කෙරිණි. පෙත්සම්කාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.
මේ අතර නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද සුඛෝපභෝගී ජීප් රථය සඳහා ව්‍යාජ තොරතුරු මත අංක තහඩු නිකුත් කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු, දැඩි කොන්දේසි සහිතව ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය නියෝග කළාය.
මෙලෙස ඇප නියම වූයේ හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ, හිටපු තොරතුරු තාක්ෂණ සහකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම, ලිපිකරුවෙකු වන ධම්මික නිරෝෂන් සහ ව්‍යාපාරිකයෙකු වන මද්දුමගේ ධනුෂ්ක නුවන් ගුණරත්න යන අයටයි. දෙපාර්තමේන්තු නිලධාරීන්ට රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක්ද, ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක්ද නියම වූ අතර, සියලු සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කරමින් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදෙන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
2018 වසරේ ජපානයේ නිෂ්පාදනය කර, 2019 වසරේදී රේගු බදු නොගෙවා මෙරටට ගෙන්වූ ටොයෝටා වර්ගයේ ජීප් රථයක්, 2002 වසරේදී මුල්වරට ලියාපදිංචි කළ බවට ව්‍යාජ ලේඛන සකස් කරමින් GS-9164 දරණ අංක තහඩුව නිකුත් කර ඇති බවට සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබේ. මෙම වංචනික ක්‍රියාව සහ ඊට ආධාර අනුබල දීම මගින් රජයට රුපියල් 32,268,620 ක පාඩුවක් සිදුකර ඇති බවට අල්ලස් කොමිසම අධිකරණයට දන්වා ඇත.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන්, සිද්ධියට අදාළ විමර්ශන අවසන් බව අධිකරණයට දැනුම් දුන්නේය. හිටපු කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා, තම සේවාදායකයා මෙම සිද්ධියට සම්බන්ධ නොමැති බවත්, ඔහු අභියාචනාධිකරණ නියෝගයක් මත පමණක් ක්‍රියා කර ඇති බවත් පවසමින් ඇප ඉල්ලා සිටියේය. කරුණු සලකා බැලීමෙන් පසු ඇප නියම කළ මහේස්ත්‍රාත්වරිය, විමර්ශනවල ප්‍රගතිය නොවැම්බර් 14 වනදා වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළාය.
Comments
Post a Comment
Your comment will be visible after approval