mahesh-rosmid-locality-wijeramala-and-finally-mirigama

ශල්‍ය උපකරණ වැඩි මිලට අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සුරසිංහ විජේරත්න මහත්මිය ලබන 15 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (08) නියෝග කළාය.


 එම චෝදනාවටම අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කළමනාකරුවෙකු වන ලියනගේ කැකුලන්ද ඉන්දික සහ එම්.ඒ. නිමල් රංජිත් මුතුකුඩ යන සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට අධිකරණය නියම කළේය. රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන දෙකක ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදාහළ අතර ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කරමින් විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසද නියෝග කෙරිණි.



අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර වෛද්‍යවරියගේ දියණිය වන හේමාලි විජේරත්න මහත්මිය කුරුඳුවත්ත පොලිසියට ලබාදුන් ප්‍රකාශය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කිරීමටද මහේස්ත්‍රාත්වරිය මෙහිදී කටයුතු කළාය.

ස්නායු ශල්‍යකර්ම සඳහා අවශ්‍ය වන 'ඊ.වී.ඩී. නේට්' සහ 'වී.පී. ෂන්ට්' වැනි උපකරණ රෝහලේ වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුළත් නොකර, විශේෂඥ වෛද්‍යවරියගේ පාලනය යටතේ පවතින බාහිර ආයතනයකින් ඒවා ලබාගන්නා ලෙස රෝගීන්ට බල කරමින් රෝහලට සහ රෝගීන්ට පාඩු සිදුකළ බවට මෙම පිරිසට චෝදනා එල්ල වී තිබේ.

අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින්, කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියගේ දියණිය පොලිස් කැඳවීමකින් තොරවම ප්‍රකාශයක් ලබා දී ඇති බවත්, එම ප්‍රකාශය ලබාදුන් දිනය පිළිබඳව පරස්පර විරෝධී තොරතුරු වාර්තා වී ඇති බවත් සඳහන් කළේය. මේ පිළිබඳව පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බවද කොමිසමේ නිලධාරීහු අධිකරණයට දැන්වූහ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ, නීතිඥ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවේ,

රුපියල් 50,000ක් පමණ වටිනා ශල්‍ය උපකරණයක් පෞද්ගලික ආයතනයක් හරහා රුපියල් 175,000කට රෝගීන්ට අලෙවි කරමින් සැකකාර වෛද්‍යවරිය අයුතු ලාභයක් ලබාගෙන ඇති බවට පැමිණිලි ලැබී ඇති බවයි. තවද, මුලින් සඳහන් කළ උපකරණවලට අමතරව 'ඔක්සිජන්' සහ 'සර්ජිකේජන්' නමැති තවත් උපකරණ දෙකක්ද මෙලෙස වැඩි මිලට විකුණා ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි ඇය සඳහන් කළාය.

විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින්, සැකකාරියගේ පදිංචිය තහවුරු කරගැනීම සඳහා මැතිවරණ කොමිසමෙන් වාර්තාවක් ලබා ගැනීමට සිදුවූ බවත්, ඒ අනුව ඇය මීරිගම ප්‍රදේශයේ පදිංචිකාරියක බව හෙළිවූ බවත් පැවසීය.  ඇය කොළඹ 07 රොස්මිඩ් පෙදෙසේ කිසියම් සෞඛ්‍ය ආයතනයක් පවත්වාගෙන ගිය බව අනාවරණය වුවත්, සැකකාරිය පදිංචිව සිට ඇත්තේ කොළඹ විජේරාම ලිපිනයකයි. සැකකාරියගේ නිශ්චිත පදිංචිය දැනගැනීමට මැතිවරණ කොමිෂන් සභාවෙන් වාර්තාවක් ඒවා ලබා ගැනීමට සිදුවු අතර අවසාන වාර්තාවට අනුව ඇය මිරිගම ප්‍රදේශයේ පදිංචිකාරියක බව අනාවරණය වී ඇත.

මෙම සිද්ධියට ජයවර්ධනපුර රෝහලේ 18 වැනි වාට්ටුවේ තවත් පිරිස් සම්බන්ධද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක බවද ඔවුහු කියා සිටියහ.

මෙම විමර්ශනය ආරම්භ වී ඇත්තේ 2023 සැප්තැම්බර් 11 වන දින ලැබුණු බුද්ධි තොරතුරකට අනුව වන අතර, ඊට පෙර සැප්තැම්බර් 05 වන දින රෝගියෙකු විසින් රුපියල් 30,000ක උපකරණයක් 175,000කට විකිණීම ගැන රෝහල් අධ්‍යක්ෂවරයාට පැමිණිලි කර තිබේ. රෝහල් අධ්‍යක්ෂවරයා සහ සැකකාර කළමනාකරු අතර සිදුවූ සංවාදයක් පටිගත කර වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇති බවද අධිකරණයේදී අනාවරණය විය.

මෙම සිද්ධියට අදාළව ලබාගත් රෝගීන්ගේ ප්‍රකාශ ඉතා සංවේදී බවත්, හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයෙකු වූ තම සැමියාද මෙම ශල්‍යකර්මයට භාජනය වී මියගිය බවට වෛද්‍යවරියක වන කේ.ජී. කුමාරි කරුණාරත්න මහත්මිය ප්‍රකාශයක් ලබා දී ඇති බවත් විමර්ශන නිලධාරීහු පෙන්වා දුන්හ.

මෙම ක්‍රියාව හේතුවෙන් රෝගීන්ට රුපියල් කෝටි තුනකට අධික පාඩුවක් සිදුවී ඇතැයි ගණන් බලා තිබේ.

සැකකාර වෛද්‍යවරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා, තම සේවාදායිකාව ශල්‍යකර්ම 10,000කට අධික සංඛ්‍යාවක් සිදුකර ඇති අතිදක්ෂ ශල්‍ය වෛද්‍යවරියක බව සඳහන් කළේය. දෙපාර්ශවයේම කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළ අතර, විමර්ශනවල ප්‍රගතිය ලබන 15 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළාය.