
ජාතික ජන බලවේගයේ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී තාරක නානායක්කාර මහතාගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයෙකු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය ඉරිදා (27) රාත්‍රියේ මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම 33 හැවිරිදි සැකකරු, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'මිදිගම රුවන්' නැමැත්තාගේ ඥාති සහෝදරයෙකු බවට මූලික විමර්ශනවලදී හෙළිවී ඇත.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත, වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන සුදු පැහැති 'ඇක්වා' වර්ගයේ මෝටර් රථයක්ද සොයාගෙන තිබේ. කැලණිය, ගෝනවල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ එම රථය ව්‍යාජ අංක තහඩු සහිතව තිබූ බවත්, එය නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද්දක් බවටත් පොලීසිය සැක කරයි.
පසුගිය ජූලි 16 වනදා අලුයම, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් තාරක නානායක්කාර මන්ත්‍රීවරයාගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළාගොස් තිබිණි.
මන්ත්‍රීවරයාට එල්ල වී තිබූ මරණ තර්ජන හේතුවෙන් ඒ වනවිටත් ඔහුගේ නිවසට පොලිස් ආරක්ෂාව යොදවා තිබූ අතර, වෙඩි තැබීමේ අවස්ථාවේදී ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් පෙරළා වෙඩි තැබීමත් සමඟ සැකකරුවන් පළාගොස් ඇති බව වාර්තා විය.
Comments
Post a Comment
Your comment will be visible after approval