police-investigating-a-call-from-a-fake-actor-asking-ishak-to-find-a-million

 ප්‍රවීණ ගායන ශිල්පී ඉෂාක් බෙග් මහතාගේ රෝගී තත්ත්වය මුල් කරගනිමින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් වංචා කිරීමට උත්සාහ කළ බවට චෝදනා ලබන සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා මුල්ලේරියාව පොලිසියට නියෝගයක් නිකුත් කර තිබේ.



මෙම නියෝගය නිකුත් කෙරුණේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රංගන ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් පදනම් කරගනිමින් මුල්ලේරියාව පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.



තමා, මාධ්‍යවේදී රංගන ද සිල්වා බව පවසමින් කිසියම් පුද්ගලයෙකු විදේශයක සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු අමතා ඇති බවත්, රෝගාතුරව සිටින ඉෂාක් බෙග් මහතාට ආධාර පිණිස යැයි කියන 'ඉෂාක්ට කෝටියක්' නමැති ව්‍යාජ වැඩසටහනකට මුදල් ඉල්ලා ඇති බවත් රංගන සිල්වා මහතා සිය පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

එම වංචනික පුද්ගලයා මුදල් තැන්පත් කිරීම සඳහා අදාළ විදෙස්ගත ශ්‍රී ලාංකිකයාට බැංකු ගිණුම් අංකයක් ද ලබා දී ඇති බව පොලිසිය වැඩිදුරටත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

ඉෂාක් බෙග් මහතාට ආධාර එකතු කිරීම සඳහා තමන් කිසිදු වැඩසටහනක් දියත් කර නොමැති බවත්, සිය නම අවභාවිත කරමින් කිසියම් පුද්ගලයෙකු හෝ සංවිධානාත්මක කණ්ඩායමක් මෙලෙස මූල්‍ය වංචාවක නිරත වන බවට සැක කරන බැවින් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසත් රංගන සිල්වා මහතා සිය පැමිණිල්ල මගින් ඉල්ලා ඇති බව පොලිසිය අධිකරණයට පැවසීය.