
කදාන, නාගොඩ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක ගැටී තුවාල ලැබූ පදිකයෙකු, පසුව පෑලියගොඩ අධිවේගී මාර්ගයේ පාලමක් අසල අතහැර දමා ගොස් සිටියදී රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත. මෙම අමානුෂික සිදුවීම සම්බන්ධයෙන් සිල්ලර වෙළෙඳසැලක සේවකයින් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ඊයේ (29) දින අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වත්තල, ගොංගිතොට ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි එන්.යූ.සී. ඩයස් මහතායි. අධිවේගී මාර්ගය අසල පුද්ගලයෙකු වැටී සිටින බවට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලීසිය ඔහුව රෝහල්ගත කර ඇති අතර, හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් ඇති වූ අභ්‍යන්තර රුධිර වහනයකින් මරණය සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී තිබේ.
පොලිස් විමර්ශන සඳහා ප්‍රබල සාක්ෂියක් වූ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමේදී, සැකකරුවන් දෙදෙනෙකු ත්‍රිරෝද රථ දෙකකින් ගමන් කරමින් සිටියදී ඉන් එක් ත්‍රිරෝද රථයක මියගිය පුද්ගලයා ගැටෙන අයුරු අනාවරණය වී ඇත. අනතුරෙන් පසු, තුවාලකරු එම ත්‍රිරෝද රථයකටම දමාගෙන ඔවුන් සේවය කරන පෑලියගොඩ, බියගම පාරේ පිහිටි සිල්ලර බඩු වෙළෙඳසැල වෙත රැගෙන ගොස් තිබේ.
පසුව එම වෙළෙඳසැලේ සිට නැවතත් තුවාලකරු රැගෙන ගොස් පෑලියගොඩ අධිවේගී මාර්ගයේ පාලම අසල දමා ගොස් ඇති බවට පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත. අත්අඩංගුවට ගත් 56, 22, සහ 20 යන වයස්වල පසුවන කැලණිය සහ මොනරාගල ප්‍රදේශවල පදිංචිකරුවන් වන සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval