
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කලාකරුවන් සහ විවිධ වෘත්තීයවේදීන් ඇතුළු දෙදහසකට අධික පිරිසකගේ ජංගම දුරකතන ඉලක්ක කර ගනිමින් මෑත කාලයේදී මහා පරිමාණ මුදල් වංචාවක් ක්‍රියාත්මක වන බවට පොලිස් සහ සේවා සපයන ආයතන ආරංචි මාර්ග අනාවරණය කරයි. මෙහි නවතම සිදුවීම ලෙස, සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දුරකතනයට පෙරේදා (28) රහසිගතව ඇතුළු වූ හැකරුන්, ඔහුගේ හිතවතුන් වෙත කෙටි පණිවිඩ යවමින් මුදල් ඉල්ලා තිබේ.
මෙම වංචනික ක්‍රියාවේදී කිරිඇල්ල මහතාගේ කිසිදු හිතවතෙකු මුදල් ලබාදී නොමැති නමුත්,
මීට පෙර මෙවැනිම සිදුවීම්වලට මුහුණදුන් මන්ත්‍රීවරුන්ගේ හිතවතුන් වංචනිකයන්ට හසුවී ඇත. මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතාගේ දුරකතනය හැක් කළ අවස්ථාවේ, ඔහුගේ සහෝදර මන්ත්‍රීවරයෙකු රුපියල් ලක්ෂයක මුදලක් හැකරුන්ගේ ගිණුමට බැර කර ඇති අතර, එම මුදල පසුව තමා විසින් එම මන්ත්‍රීවරයාට ගෙවූ බව නෙල්සන් මහතා පැවසීය. මීට අමතරව මුජිබර් රහුමාන් මහතාගේ විදෙස්ගත හිතවතුන් දෙදෙනෙකුද, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාද මෙවැනි වංචාවලට මුහුණ දී තිබේ.
මේ අතර, සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මියගේ දුරකතනයට ඇතුළු වීමට හැකරුන් දැරූ උත්සාහයක් ඇයගේ කල්පනාකාරීත්වය නිසා ව්‍යර්ථ වී ඇත. පොලිස් මූලස්ථානය පවසන්නේ, සමාජයේ වැදගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ දුරකතනවලට සූක්ෂම ලෙස ඇතුළු වී මුදල් වංචා කිරීමේ සිදුවීම් ඉහළ ගොස් ඇති බවයි.
බොහෝ විට හැකරුන් පළමුව ඉලක්කගත පුද්ගලයාට ඇමතුමක් ලබාදී, යම් සමාජ සුබසාධන කටයුත්තක් පිළිබඳව කතාබහ කරමින් තොරතුරු හුවමාරු කර ගැනීමෙන් අනතුරුව දුරකතනය සිය පාලනයට නතු කරගන්නා බවට තොරතුරු ලැබී ඇත. එබැවින්, කිසියම් හිතවතෙකුගෙන් මුදල් ඉල්ලා කෙටි පණිවිඩයක් ලැබුණහොත්, මුදල් බැර කිරීමට පෙර එම හිතවතාට සෘජුවම දුරකතන ඇමතුමක් දී එය සත්‍ය ඉල්ලීමක් දැයි නැවත තහවුරු කරගන්නා ලෙස පොලීසිය මහජනතාවගෙන් තරයේ ඉල්ලා සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval