hayeshika-goes-to-court-to-silence-three-youtubers

 ප්‍රාථමික පාසල් දරුවන් සඳහා මාර්ගගතව උපකාරක පන්ති පවත්වනු ලබන “ටීචර් අම්මා” යන අන්වර්ථ නාමයෙන් ප්‍රකට හයේෂිකා ප්‍රනාන්දු මහත්මියට අපහාස වන අයුරින් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම වැළැක්වීමේ අරමුණින් කොන්දේසි සහිත වාරණ නියෝග තුනක් නිකුත් කිරීමට අධිකරණය පියවර ගෙන තිබේ.



අදාළ නියෝගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය විසින් ඊයේ (14) නිකුත් කරනු ලැබුවේ, 2024 අංක 9 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය යටතේ හයේෂිකා ප්‍රනාන්දු මහත්මිය විසින් ගොනු කළ පැමිණිලි තුනක් සලකා බැලීමෙන් අනතුරුවය.



පැමිණිලිකාරිය වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥ ධනුෂ්ක රාහුබැද්ද මහතා පෙන්වා දුන්නේ, වගඋත්තරකරුවන් විසින් සිය සේවාදායිකාව සම්බන්ධයෙන් සාවද්‍ය සහ ද්වේෂ සහගත ප්‍රකාශ අන්තර්ජාලය තුළ අඛණ්ඩව පළ කරමින් සිටින බවයි. එමෙන්ම දර්ශිකා අයෝමි සහ ධනුෂ උඩවත්ත යන නීතිඥවරුන්ද පැමිණිල්ල නියෝජනය කළහ.

මෙම පැමිණිලි තුන චමින්ද රණවීර හෙවත් සම්පත්, සුදත්ත තිලකසිරි සහ පූජ්‍ය රජාංගනයේ සද්ධාරත්න හිමි යන අන්තර්ජාල ක්‍රියාකාරීන් තිදෙනා වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් ගොනු කර තිබිණි.



ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය, අදාළ අපහාසාත්මක ප්‍රචාර තවදුරටත් සිදු කිරීම වළක්වමින් වගඋත්තරකරුවන්ට එරෙහිව කොන්දේසි සහිත වාරණ නිකුත් කළාය. එමෙන්ම, ලබන 28 වන දින අධිකරණයේ පෙනී සිට කරුණු දැක්වීම සඳහා ඔවුන් වෙත නොතීසි නිකුත් කිරීමටද නියෝග කෙරිණි.