no-term-exams-two-intervals-school-until-2-pm

 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් යටතේ මෙරට පාසල් පද්ධතියේ වාර විභාග ක්‍රමය ක්‍රමානුකූලව අහෝසි කිරීමට රජය තීරණය කර තිබේ. ඊට සමගාමීව, පාසල් පැවැත්වෙන කාලය පෙරවරු 7.30 සිට පස්වරු 2.00 දක්වා සංශෝධනය කර, එම කාලය තුළ සිසුන්ට විවේක කාල දෙකක් ලබා දීමටද පියවර ගෙන ඇත. වාර විභාග වෙනුවට මොඩියුලර් ක්‍රමවේදයක් ඔස්සේ සිසුන්ගේ සාධන මට්ටම අඛණ්ඩව ඇගයීමට නියමිත බව ජාතික අධ්‍යාපන ආයතනය පවසයි. 



අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ යෝජනා සැලකිල්ලට ගනිමින් වාර විභාග අහෝසි කිරීමේ තීරණය ගත් බව ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය අශෝක ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. ලබන වසරේ ජනවාරි මස 01 වැනිදා සිට පාසල් කාලය දීර්ඝ වීමත් සමඟ හඳුන්වා දෙන විනාඩි 50ක නව කාලච්ඡේදයට සිසුන්ට හැඩගැසීම පහසු කරවීම සඳහා පෙරවරු 10.10 සිට 10.30 දක්වාත්, දහවල් 12.10 සිට 12.20 දක්වාත් වශයෙන් විවේක කාල දෙකක් ලබා දෙන බවද ඔහු සඳහන් කළේය. ඒ අනුව නව පන්ති කාලසටහනද සංශෝධනය වනු ඇත.



මෙම ප්‍රතිසංස්කරණ යටතේ ප්‍රාථමික අධ්‍යාපනය සඳහා ආරම්භක විද්‍යාව, මවුබස, ඉංග්‍රීසි, දෙවන භාෂාව, ගණිතය, ආගම, සාරධර්ම, පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම්, සමෝධානිත සෞන්දර්ය සහ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය යන විෂයයන් ඇතුළත් වන බව ආචාර්ය අශෝක ද සිල්වා මහතා පෙන්වා දුන්නේය. 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා සාම්ප්‍රදායික පෙළපොත් වෙනුවට මොඩියුලර් ක්‍රමයට විෂය කරුණු හඳුන්වා දෙනු ලබන අතර, 6 වන ශ්‍රේණියේ සිට 'ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව' නමින් නව විෂයක්ද හඳුන්වා දීමට නියමිතය.

තවද, 9 වන ශ්‍රේණියේ සිසුන් සඳහා ජාත්‍යන්තරව පිළිගත් පරීක්ෂණයක් හඳුන්වා දීමට කටයුතු කරන බවත්, සෑම දරුවෙකුම ක්‍රීඩා සංගමයකට අනිවාර්යයෙන්ම සම්බන්ධ විය යුතු බවට නියම කර ඇති බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.