
පුතෙකුගේ බිරිඳ සමඟ අනියම් සබඳතාවක් පැවැත්වූ පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ පියෙකු, ඔහුගේ පුතුන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට පොළොන්නරුව මහාධිකරණය මගින් මරණ දඬුවම නියම කර තිබේ. 2006 වසරේදී සිදුවූ මෙම අපරාධය සම්බන්ධ නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා මෙම දඬුවම නියම කළේය.
මෙසේ මරණ දඬුවම නියම වූයේ හිඟුරක්ගොඩ, උණගලාවෙහෙර, චන්දන පොකුණ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඒ.එම්. විජේරත්න, ඔහුගේ පුතුන් වන ඒ.එම්. රසික ප්‍රදීප් බණ්ඩාර සහ ඒ.එම්. රොෂාන් ප්‍රදීප් බණ්ඩාර සහ ඒ.බී. සිසිර කුමාර යන විත්තිකරුවන්ටය. මෙම නඩුවට අදාළව අධිචෝදනා ගොනු කර තිබූ තවත් විත්තිකරුවන් දෙදෙනෙකු නඩු විභාගය අතරතුර මියගොස් තිබිණි.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කර ඇති බවට තීන්දු කළ විනිසුරුවරයා, ජනාධිපතිවරයා නියම කරන දිනයකදී දුම්බර, බෝගම්බර බන්ධනාගාරයේදී ගෙල වැලලා ප්‍රාණය නිරුද්ධ කරන ලෙස නියෝග කළේය.
2006 වසරේ මැයි මස 14 වන දින හෝ ඊට ආසන්න දිනයකදී, හිඟුරක්ගොඩ ප්‍රදේශයේදී විත්තිකරුවන් පිරිස පොලුවලින් පහර දී තිමල් ජයතිලක නමැත්තා ඝාතනය කර, ඔහුගේ සිරුර ත්‍රිරෝද රථයකින් ගෙන ගොස් මාර්ගයක දමා ගොස් ඇති බවට අධිකරණයේදී කරුණු අනාවරණය විය.
මෙම ඝාතනය සිදුවී මාස දෙකකට පසුව හිඟුරක්ගොඩ පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබූ අතර, අපරාධය සිදුවන අයුරු ගසක් මත සිට බලා සිටි පුද්ගලයෙකුගේ තනි ඇසින් දුටු සාක්ෂියක් මත පදනම්ව විත්තිකරුවන් වරදකරුවන් කිරීම මෙම නඩු තීන්දුවේ විශේෂත්වයකි.
දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබිණි. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ නිමංක ජයවික්‍රම මහතා පෙනී සිටි අතර, විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ චන්දික තිලකරත්න මහතා පෙනී සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval