2024 වසරේ නොවැම්බර් මස 13 වැනිදාය. කිසිවකු විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකථන ඇමතුමක් දුන්නේය."සර්... දෙදිවල, ඉබ්බන්විල කිරිමැටි වළේ මිනියක් පාවෙනවා." හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු එම තොරතුර වහා කළුතර උතුර පොලිසිය වෙත යොමුකෙරිණි. ඒ දෙදිවල, ඉබ්බන්විල ප්‍රදේශය අයත් වන්නේ එම පොලිස් වසමට නිසාය. සිද්ධිය සැලවීමත් සමඟ නිලධාරීන් කිරිමැටි වළ වෙත ගියේය. පුද්ගලයකුගේ මළ සිරුරක් වළේ පාවෙමින් තිබුණේය.
සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණය දැනුවත් කිරීමෙන් පසු එතැනට පැමිණි නිලධාරීන් මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ කිරිමැටි වළේ තිබූ මළ සිරුර ගොඩගනු ලැබීය. මළ සිරුර ඒ වන විටත් නරක් වෙමින් තිබිණි. මියගොස් ඇත්තේ කාගේ කවුදැයි හඳුනාගැනීමට හැකි නොවීය. ඒ අනුව මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය මත මළ සිරුර කළුතර, නාගොඩ රෝහලේ මෘත ශරාගාරයේ තැන්පත් කිරීමට පියවර ගැනිණි.
කාලය ගෙවී ගියද මළ සිරුර හඳුනාගැනීමට කිසිවකු පැමිණියේ නැත. එහෙත් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත නාඳුනන මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විණි. ඒ, කළුතර, නාගොඩ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය කේ.එම්.ටී.බී. ගුණතිලක මහතාගේ අධීක්ෂණය මතය. පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ තියුණු ආයුධයකින් ගෙල කපා ඔහු ඝාතනය කර ඇති බවය. ඒ අනුව එය ඝාතනයක් බවට තහවුරු විය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹුවේ කළුතර උතුර පොලිසිය මඟිනි.
කෙසේ වෙතත් කළුතර උතුර පොලිසිය කළ විමර්ශනයේදී ද මියගිය පුද්ගලයා හඳුනාගැනීමට හැකියාවක් ලැබුණේ නැත. එමෙන්ම ඔහු මරා දැමීමට සම්බන්ධ කිසිවකුද අත්අඩංගුවට පත්වූයේද නැත. කළුතර උතුර පොලිසියේ විමර්ශනවල මන්දගාමී බව නිසා මේ පිළිබඳව ලිඛිත පැමිණිල්ලක් වැඩ බලන පොලිස්පතිවරයා වෙත කිසිවකු විසින් යොමුකර තිබුණේ මේ අතරතුරය. වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය තමා වෙත ලැබුණු පැමිණිල්ල බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කළ අතර එය අවසානයේ කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර අතට පත්විය.
පැමිණිල්ල පිළිබඳව සිය අවධානය යොමුකළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත යොමු කළේ ඉන් අනතුරුවය. එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර විසින් සිද්ධිය ගැන ඉදිරි විමර්ශන සිදුකිර්මට උප පොලිස් පරීක්ෂක වීරසේන වෙත පැවැරුවේය. විමර්ශන ඇරැඹුණේ එතැන් පටන්ය. එහෙත් මියගිය පුද්ගලයා හඳුනා ගැනීමට කිසිවකුටත් හැකි වූයේ නැත. උප පොලිස් පරීක්ෂක වීරසේන සිය කණ්ඩායම සමඟ විවිධ ප්‍රදේශවල
සැරිසරමින් මියගිය පුද්ගලයා කවුදැයි හඳුනාගැනීමට දැඩි උත්සාහයක් දැරීය. එමෙන්ම ඔහු ඝාතනය කිරීමට හේතු වූ කරුණු කාරණාද සෙවීමට ඔවුන් අමතක කළේ නැත. එම සෙවීමේදී නිලධාරීන්ට කිසියම් තොරතුරක් ලැබුණේය.
ඒ මියගිය පුද්ගලයා කාන්තාවක් සමඟ අනියම් සබඳකමක් පැවැත්වූ අයකු බවය. ඒ හේතුව නිසා ඔහු ඝාතනය කරන්නට ඇති බව සැක සහිත තොරතුරද නිලධාරීන්ට ලැබුණේය. නිලධාහු ඒ පසුපස යමින් වැඩිදුරටත් තොරතුරු සෙවූහ. එහෙත් අවසානයේ තහවුරු වූයේ එම තොරතුර සාවද්‍ය එකක් බවය. දිගින් දිගටම විමර්ශන සිදුකිරීමෙන් පසු නිලධාරීන් කළුතර, උග්ගල්බඩ, ගංකන්දගොඩ වත්ත ප්‍රදේශයේ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත්තේය. මොහු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙකි. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමෙන් පසු තවත් ඔහුගේම සමීපතමයකු අත්අඩංගුවට ගැනීමට නිලධාන්ට හැකිවිය. නිලධාර්න් ඔවුන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වන්නේ මෙවැන්නක්ය.
මෙම සැකකරුවන් දෙදෙනා පසුගිය දිනක මොරොන්තුඩුව ප්‍රදේශයට පැමිණ ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි ජාවාරම්කරුවකුගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහාය. කෙසේ වෙතත් මොරොන්තුඩුව පදිංචි ජාවාරම්කරු මත්ද්‍රව්‍ය මොවුනට ලබානොදී මඟහැර ගොස් ඇත.
වෙනදා මෙන් මත්ද්‍රව්‍ය ලබානොදී ජාවාරම්කරු මඟහැර ගියේ ඔවුන්
පොලිසියට කොටුකරදීමට දැයි පැමිණි දෙදෙනාට සැක ඇති විය. එමෙන්ම ජාවාරම්කරු සමඟ සිටි පුද්ගලයකුගේ කීම නිසා මත්ද්‍රව්‍ය ලබාගැනීමට නොහැකි වූ බවද මොවුහු සැක කළහ.
"අරූ තමයි අපිට බඩු දෙන්න එපා කියන්න ඇත්තේ. ඕකා තමයි පොලිසියට ටිප් දෙන්නේ. නැත්නම් වෙනදට අපි බඩු ගන්නවනේ... " මොවුන් ජාවාරම්කරු සමඟ සිටි පුද්ගලයා ගැන සැක කරන්නට විය. පසුව මිතුරකුගේ නිවෙසකට පැමිණි ඔවුන් එම මිතුරාගේ බිරිය විසින් විදෙස්ගතව සිට රැගෙන පැමිණි මත්පැන් බෝතලයක් හිස් කරමින් අල්ලාප සල්ලාපයේ යෙදුණේය. එහිදීද කතාබහ කළේ මොරොන්තුඩුවේදී මත්ද්‍රව්‍ය ලබාගැනීමට ඉඩකඩ ලබාදුන් පුද්ගලයා ගැනය.
"ඕකට වැඩක් දෙන්නම ඕන" "ඇයි මොකක්ද..."සෙසු මිතුරන් විමසයි.
"අපි මොරොන්තුඩුවට ගියා බඩු ටිකක් ගේන්න. එතැන හිටිය එකෙක් අපිව පොලිසියට අල්ලලා දෙන්නද කොහේද බඩු දෙන එක පරක්කු කළානේ..." "ඉතින් වරෙන් අපි ගිහින්
උගෙන් අහමු" මිතුරෝ කතාබහ වූහ.
සියල්ලෝම එකෙකුගේ ත්‍රිරෝද රියට නැඟ ගත්තේ පදමට වෙරි මතද තිබියදීය. ත්‍රිරෝද රියට නැඟගත් ඔවුන් මොරොන්තුඩුව කළපුගම බලා ගියේ ඉන් පසුවය. පිරිස යන විටත්
සැකකෙරුණු පුද්ගලයා නිවෙසේ විය. නිවෙසේ දොර වසා තිබිණි.
"අපි පොලිසියෙන් දොර ඇරපන්" එසේ කියමින් දොර විවර කර ගත් පිරිස නිවෙස තුළ සිටි පුද්ගලයාට එකවරම පැන පහර දෙන්නට වූහ. "ඇයි මට ගහන්නේ. මම මොන වරදක් කළාටද...? " එකකු එල්ල කළ පහරකින් ඔහුගේ නාසය කැඩී ලේ ගලන්නට විය. පසුව ඔහු කුදලාගත් පිරිස ඔහු ත්‍රීවීලරයට නංවාගෙන රිය තුළ දමාගෙනද පහර දෙන්නට විය. පසුව ඔවුන් පැමිණියේ ඉබන්විල, කිරිමැටි වළ ආසන්නයටය.
"අනේ මල්ලි ඇයි මට මෙහෙම ගහන්නේ මම ඔයාලට විරුද්ධව මුකුත් කිව්වේ
නැහැනේ... " පහර කෑ පුද්ගලයා සිය ජීවිතය ඉල්ලා වැඳ වැටුණද පිරිස එය මායිම් කළේ නැත. එකෙකු පිහි තුඩකින් ඔහුට අනින්නටද විය.
"අනේ මල්ලි මම මේ මුකුත් දන්නේ නැහැ" එසේ කියද්දීම පිරිසේ සිටි අයකු අත තිබූ
මන්නයකින් තුවාලකරුගේ ගෙලට පහර දුන්නේය. ඒ සමඟම ඔහු එතැන ඇදවැටුණේය. මොහොතකින් අධික ලෙස රුධිරය වහනය වීමත් සමඟ ඔහුගේ ප්‍රාණයද නිරුද්ධ වී ගියේය.
"අල්ලපන් ඕකගේ අත්වලිනුයි, කකුල් දෙකෙනුයි" පිරිස මියගිය පුද්ගලයාගේ දෑත්වලින් සහ පාදවලින් ඔසවා ඔහු කිරිමැටි වළට විසිකර දැමුවේ ඉන් අනතුරුවය.
"ඉන් පස්සේ මේගොල්ලෝ කෙනකුට කියලා ඇඳුම් වගයක් ගෙන්නගෙන එයාලා ඇඳගෙන හිටිය ඇඳුම් දුවේගම බන්ට් එකට ගිහින් පුච්චලා දාලා ගෙනාපු ඇඳුම් ඇඳගෙන මුකුත් නොදන්න මිනිස්සු වගේ මාරු වෙනවා."
පස්සේ අර මිනිහව මරන්න දාගත්ත ත්‍රීවීලර් එකත් වෙනත් කෙනකුට විකුණලා දාලා ඒ පුද්ගලයාත් රට යනවා.”
විමර්ශන නිලධාරියෙක් කීවේය. පසුව තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනුණු අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මරා දැමුණු පුද්ගලයාට අයත් මුදල් පසුම්බියක් සැකකරුගේ නිවෙසේ තිබියදී සොයාගනු ලැබීය. එම පසුම්බිය පරීක්ෂා කිරීමේදී එහි හැඳුනුම්පතක් වූ අතර ඉන් මරාදැමුණු පුද්ගලයා රණබාහු නමැති 50 හැවිරිදි අවිවාහකයකු බවට හඳුනාගැනීමට පොලිසියට හැකිවිය. විමර්ශනයේදී හෙළි වූයේ සැකකරුවන් ඔහු කෙරෙහි ඇති කරගෙන තිබුණේ බොරු සැකයක් බවත් මියගිය රණබාහු නමැත්තා
අපරාධවලට හෝ මත්ද්‍රව්‍ය ජාවාරමට හෝ සම්බන්ධ නැති අහිංසකයකු බවය.
සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු මරාදැමුණු පුද්ගලයාට පහරදුන් මන්නයද සොයා ගැනීමට නිලධාරීන්ට හැකිවිය. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති ඇති බවත් මීට සම්බන්ධ එක් පුද්ගලයකු මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් අනෙක් සැකකරු මේ වන විට විදෙස්ගතව සිටින බවත් පොලිසිය සඳහන් කළේය.
අවසානයේදී මියගිය පුද්ගලයාගේ සොහොයුරකුට සිද්ධිය සම්බන්ධයෙන් කළ දැනුම් දීමෙන් පසු මියගිය පුද්ගලයාගේ පසුම්බියේ වූ මවගේ සහ සොහොයුරකුගේ ඡායාරූපවලින් මියගිය පුද්ගලයා හඳුනාගැනීමටද හැකිවී තිබේ.
වැරැදි වැටහීමක් සහ ඇති වූ සැකය මත තවත් අහිංසකයකුට සිය ජීවිතය අහිමි වූයේ මෙලෙසය.
(කීර්ති මෙන්ඩිස්)
Comments
Post a Comment
Your comment will be visible after approval