
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් පැවති කතාබහට පිළිතුරු දෙමින්, ඒ සඳහා වන නව ප්‍රතිපත්ති සහ නිර්දේශ ඇතුළත් කමිටු වාර්තාවක් නිකුත් කර තිබේ. ආරක්ෂක ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් විසින් අමාත්‍ය මණ්ඩලය වෙත මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, වසරකට එක් වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමක් පමණක් බඳවා ගැනීමට යෝජනා වී ඇති අතර, එක් කණ්ඩායමක සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 150කට සීමා වනු ඇත. ඉන් ගෙවීම් පදනම මත බඳවා ගන්නා දේශීය සිවිල් සිසුන් සංඛ්‍යාව 100 නොඉක්මවිය යුතු බවටද නිර්දේශ කර තිබේ.
ශිෂ්‍යයන් බඳවා ගැනීමේදී ත්‍රිවිධ හමුදා අපේක්ෂකයින්, විදේශීය සිසුන් සහ දේශීය සිවිල් සිසුන් යන අනුපිළිවෙලට ප්‍රමුඛතාවය හිමි වේ. මෙහිදී, ඇතුළත් කර ගැනීම සඳහා අවම වශයෙන් 1.4000ක හෝ ඊට වැඩි ඉසෙඩ් (Z) අගයක් පවත්වා ගත යුතු බවටද යෝජනා වී ඇත.
ගෙවීම් පදනම මත බඳවා ගන්නා දේශීය සිසුන්ගෙන් 10%ක ප්‍රතිශතයක් පූර්ණ ශිෂ්‍යත්ව මත බඳවා ගැනීමට නියමිත අතර, ඔවුන් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා තෝරා ගැනෙනු ඇත. තවද, මෙම පාඨමාලාවට ඇතුළත් වන සිසුන්ට වෙනත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක පූර්ණකාලීන අභ්‍යන්තර උපාධි පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වීමට අවසර නොලැබෙන අතර, සිවිල් සිසුන් සඳහා විශේෂ නිල ඇඳුමක් අනිවාර්ය නොවන බවට ද නිර්දේශ කර තිබේ.
මෙම සිසුන් සඳහා වන සායනික පුහුණුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරා දෙනු ලබන රෝහල්වලදී ලබා දීමට නියමිතය. කෙසේ වෙතත්, උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු රජයේ රෝහල් සේවයට බඳවා ගන්නා බවට විශ්වවිද්‍යාලය කිසිදු වගකීමක් භාර නොගන්නා අතර, බඳවා ගැනීම් පවත්නා පුරප්පාඩු මත පමණක් සිදුවන බවට සිසුන් ලියාපදිංචි වීමේදීම එකඟතාවක් ලබා දිය යුතුය.
මීට අමතරව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති වෙනත් වෛද්‍ය පීඨයක සේවය කරන අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොතලාවල වෛද්‍ය පීඨයට එක්විය හැක්කේ එම සේවයෙන් ඉවත්ව වසර පහක කාලයක් ගතවීමෙන් පසුව පමණි. මෙම කොන්දේසිය සප්ත වාර්ෂික නිවාඩු ලබාගන්නා සහ විශ්‍රාම යන නිලධාරීන් සඳහා අදාළ නොවන බවද නිර්දේශවල දැක්වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval