පසුගිය 30 වනදා රාත්‍රියේ කහවත්ත, පලන්සුරියගම ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි පිරිසක් විසින් 22 හැවිරිදි තරුණයෙකු පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමක් හේතුවෙන් ප්‍රදේශය පුරා දැඩි නොසන්සුන්කාරී තත්වයක් නිර්මාණය වී තිබේ. ඝාතනයට ලක්වූ ඉමන්ත සුරන්ජන නමැති තරුණයා සමග පැහැරගත් ඔහුගේ මිතුරා බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇත.
පොලිසියෙන් බව පවසමින් ජිප් රථයකින් පැමිණි ඝාතකයින්, නිවස ඉදිරිපිට සිටි ඉමන්ත සහ ඔහුගේ මිතුරා එකම මාංචු කට්ටලයකින් බැඳ පැහැරගෙන ගොස් තිබේ. පසුව ඔවුන් ඇන්දාන-කහවත්ත මාර්ගයේ උඩහවුපේ ප්‍රදේශයට ගෙන ගොස් දණ ගැස්සවා වෙඩි තබා ඇති බවට මූලික පරීක්ෂණවලදී සාක්ෂි අනාවරණය වී ඇත. තුවාල ලබා සිටි ඉමන්තගේ මිතුරා රෝහල්ගත කිරීම සඳහා ප්‍රදේශවාසීන්ට එම අත්විලංගුව කපා ඉවත් කිරීමට සිදුව තිබිණි.
ඝාතනයට ලක්වූ ඉමන්ත සුරන්ජන, ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ක්‍රියාකාරීව කටයුතු කළ, ගම්වාසීන්ගේ ගෞරවයට පාත්‍ර වූ තරුණයෙකු බව ප්‍රදේශවාසීහු පවසති. ක්‍රීඩාවට දක්ෂතා දැක්වූ ඔහුගේ එකම අපේක්ෂාව වූයේ පොලිස් සේවයට එක්වීම බවද ඔවුහු සඳහන් කරති. මෙම ඝාතනයට හේතුවී ඇත්තේ ඩුබායිහි සිට මත්ද්‍රව්‍ය ජාවාරමක් මෙහෙයවන "ඩුබායි අමිල" නමැති පුද්ගලයෙකු බවට ගම්වාසීහු චෝදනා කරති.
මීට දින කිහිපයකට පෙර කහවත්ත පොලිසිය විසින් "ඩුබායි අමිල"ගේ ගෝලයන් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ සඳහා ඔත්තුව ලබා දුන්නේ ඉමන්ත සහ ඔහුගේ නිවුන් සොයුරා බවට අමිල සැක කර තිබේ. මෙම ඝාතනය එම සැකය මත සිදුකළ පළිගැනීමක් බවට විශ්වාස කෙරේ. ඝාතනයට පෙර වට්ස්ඇප් ඔස්සේ ඉමන්ත ඇතුළු ගමේ තරුණයින් කිහිප දෙනෙකුට මරණීය තර්ජන එල්ල වී ඇති බවද වාර්තා වේ.
සිද්ධිය ඇසින් දුටු ඉමන්තගේ මව වන රේණුකා මණතුංග මහත්මිය පවසන්නේ, පොලිසියෙන් බව පවසමින් පැමිණි පිරිස ගංජා සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර, තම පුතුන් දෙදෙනා සහ මිතුරෙකුගේ දුරකථන පැහැරගෙන ඔවුන් පැහැරගත් බවයි. එම අවස්ථාවේ ඉමන්තගේ නිවුන් සොයුරා තේ වත්තට පැන දිවි බේරාගෙන තිබේ. "මගේ දරුවා අසාධාරණයට විරුද්ධව කතා කළා. කහවත්ත පොලිසිය හරියට රාජකාරිය කළා නම් මගේ පුතා අද ජීවතුන් අතර," යැයි ඇය විලාප නගමින් පැවසුවාය.
දිවි ගලවාගත් නිවුන් සොයුරා පවසන්නේ,
ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳව තමන් අවස්ථා කිහිපයකදීම කහවත්ත පොලිසිය දැනුවත් කළද, ඉන් අනතුරුව ඩුබායි සිට දුරකථන ඇමතුම් ලබාදෙන ජාවාරම්කරුවන් පොලිසියට ඔත්තු දීම සම්බන්ධයෙන් තමන්ට මරණ තර්ජන එල්ල කළ බවයි. කහවත්ත පොලිසිය මෙම ජාවාරම්කරුවන්ට ආරක්ෂාව සපයන බවට ඔහු සෘජුව චෝදනා කරයි.
මෙම ඝාතනයත් සමග ප්‍රදේශයේ ජනතාව සහ පොලිසිය අතර දැඩි උණුසුම්කාරී තත්වයක් හටගත් අතර, ඉමන්තගේ අවසන් කටයුතු සිදුකළ දිනයේදී පොලිසියට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමටද සිදුවිය. කෝපයට පත් ගම්වාසීන් විසින් සැකකාර "ඩුබායි අමිල" ට අයත් නිවස ඉදිරිපිට තිබූ ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් විනාශ කර තිබූ අතර, පොලිසියට සහ විශේෂ කාර්ය බලකායට එම නිවසට ආරක්ෂාව සැපයීමට සිදුව ඇත.
කෙසේ වෙතත්, පවුලේ සාමාජිකයින් නගන චෝදනා ප්‍රතික්ෂේප කරන කහවත්ත පොලිසිය පවසන්නේ, ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට තමන් වැටලීම් සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් හතරක් යොදවා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, සැකකාර "ඩුබායි අමිල"ගේ බිරිඳ ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇත. පැහැරගැනීමට යොදාගත් ජිප් රථය සහ භාවිත කළ අත්විලංගු පොලිසියට අයත් නොවන ඒවා බවටද තහවුරු වී තිබේ.
මේ අතර, සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා සාමාන්‍ය රාජකාරි සඳහා යාපනයට මාරු කර යවා ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval