ජාත්‍යන්තර රූ රැජින වේදිකාවක ශ්‍රී ලංකාවේ නාමය සනිටුහන් කළ ප්‍රථම තරුව ලෙස සැලකෙන, 1955 වසරේ 'මිස් සිලෝන්' කිරුළ හිමි කරගත් මොරීන් නෙලියා හින්ගර්ට් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට 88 වන වියෙහි පසුවූ ඇය හොලිවුඩ් නිළියකි.
1937 වසරේ ජනවාරි 9 වන දින කොළඹ දී උපත ලද මොරීන්, ලන්දේසි බර්ගර් පරම්පරාවෙන් පැවත එන්නියකි. ඇයගේ පියා, ලයනල් හින්ගර්ට්, තේ වතු හිමිකරුවෙකු මෙන්ම ලංකා බැංකුවේ සේවකයෙකු ලෙස කටයුතු කළ අතර මව ලෝර්නා මේබල් වූවා ය. ඇය කොළඹ, බම්බලපිටිය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයෙන් මූලික අධ්‍යාපනය ලබා, පසුව වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් වෙත සංක්‍රමණය වූවාය.
1955 වසරේදී 'මිස් සිලෝන්' ලෙස අභිෂේක ලබන මොරීන් හින්ගර්ට්, එම වසරේම පැවති 'මිස් යුනිවර්ස්' හෙවත් 'විශ්ව රූ රැජින' තරගාවලිය නියෝජනය කළාය. එහිදී දෙවන අනුශූරතාව දිනා ගනිමින්,
එවැනි ජාත්‍යන්තර කිරුළකට හිමිකම් කී ප්‍රථම ශ්‍රී ලාංකික යුවතිය ලෙස ඇය ඉතිහාසයට එක්විය.
විශ්ව රූ රැජින තරගාවලියේදී ලැබූ මෙම සුවිශේෂී ජයග්‍රහණය ඇයට හොලිවුඩ් සිනමාවේ දොරටු විවර කර දුන් අතර, ඇය වෘත්තීය රංගන ශිල්පිනියක ලෙස 'ජනා ඩාවි' යන නාමයෙන් ප්‍රකට වූවාය. ඉන් අනතුරුව '20th Century Fox' සහ 'Universal International Studios' වැනි දැවැන්ත සිනමා නිෂ්පාදන සමාගම් සමඟ ගිවිසුම්ගතව කටයුතු කළ ඇය, "Gun Fever", "The King and I", "Fort Bowie" සහ "Pillars of the Sky" ඇතුළු චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබා දුන්නාය.
රංගනයට අමතරව දක්ෂ නර්තන ශිල්පිනියක ද වූ මොරීන් හින්ගර්ට්, බ්‍රිතාන්‍ය රූපවාහිනී කතා මාලා සඳහා ද සම්බන්ධ වී ඇති අතර, ලොස් ඇන්ජලීස් හි ප්‍රධාන වේදිකාවල ඒකල නර්තන ප්‍රසංග ද ඉදිරිපත් කර තිබේ. 1958 වසරේදී මාරියෝන් සැම්පරෙලි සමඟ විවාහ දිවියට ඇතුළත් වූ ඇය, එම විවාහයෙන් වෙන්වීමෙන් අනතුරුව 1970 දී විලියම් ජේ. බැලර්ඩ් සමඟ දෙවන වරට විවාහ වූ බව සඳහන් වේ.
දියණියන් තිදෙනෙකුගේ මවක වූ මොරීන් හින්ගර්ට් මහත්මිය, සිය එක් දියණියක පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ දැඩි කම්පනයට පත්ව තිබේ. එම සිදුවීමෙන් පසුව ඇය කලා ක්ෂේත්‍රයෙන් මෙන්ම මාධ්‍ය අවධානයෙන් ද සම්පූර්ණයෙන්ම ඉවත් වී ඉතා හුදෙකලා දිවි පෙවතක් ගත කළ බවට වාර්තා වේ.



