
බදුල්ල ප්‍රදේශයේ වයස අවුරුදු 15ක පාසල් දරුවෙකුට HIV වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ අනාවරණයත් සමඟ බරපතල සමාජ ගැටලුවක් පිළිබඳව අවධානය යොමු වී තිබේ. මෙම කණගාටුදායක තොරතුර හෙළිදරව් කරනු ලැබුවේ බදුල්ල කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී ජී.ඩබ්ලිව්.බී.එස්. පලිපාන මහතා විසිනි.
ලෝක සෞඛ්‍ය දිනය නිමිත්තෙන් බදුල්ල ශික්ෂණ රෝහලේ පැවති සම්මන්ත්‍රණයකදී අදහස් දැක්වූ ඒ මහතා, උපකාරක පන්ති යන මුවාවෙන් නිවෙස්වලින් පිටවන ඇතැම් දරුවන්, වන රක්ෂිත වැනි හුදෙකලා ස්ථානවල විවිධ පුද්ගලයන් සමඟ කාලය ගත කිරීමේ භයානක ප්‍රවණතාවක් මතුව ඇති බව පෙන්වා දුන්නේය.
මෙම අනාරක්ෂිත හැසිරීම් හේතුවෙන් මහියංගනය ප්‍රදේශයේ 15 හැවිරිදි දරුවෙකුට HIV ආසාදනය වීමේ බරපතල තත්ත්වය උද්ගතව ඇති බව ඔහු අවධාරණය කළේය. මෙම ගැටලුව පාලනය කිරීම සඳහා සොරබොර වැව රක්ෂිතය ආශ්‍රිතව පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන ඇති බවත්, වයස අවුරුදු 16ට අඩු දරුවෙකුගේ කැමැත්ත ඇතුව වුවද ලිංගිකව ඇසුරු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් සහකාර පොලිස් අධිකාරීවරයා සිහිපත් කළේය.
එමෙන්ම, දරුවන් අතර සමේ පැහැය වෙනස් කරගැනීම සඳහා විවිධ රූපලාවන්‍ය ආලේපන භාවිතය ඉහළ ගොස් ඇති බවත්, වෛද්‍ය උපදෙස් නොමැතිව ඒවා භාවිත කිරීමෙන් සමට බරපතල හානි සිදුවන අතර චර්ම රෝග රැසකට මඟ පෑදෙන බවත් ඔහු පැවසීය.
විවාහක කාන්තාවන් රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා අනවශ්‍ය ලෙස අධික මුදලක් වැය කිරීම පවුල් තුළ ගැටුම් ඇතිවීමට හේතුවක් වී ඇති බවද පලිපාන මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ස්වාමිපුරුෂයන් විසින් පවුලේ සුබසිද්ධිය උදෙසා උපයන මුදල් මෙලෙස අවභාවිත වීම සමාජ ප්‍රශ්නයක් බවට පත්වෙමින් පවතින බව ඔහු සඳහන් කළේය.
මෙම සම්මන්ත්‍රණය සඳහා චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කසුන් ජයසිංහ, නියෝජ්‍ය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ගයාන් කුරේ සහ මනෝ චිකිත්සක වෛද්‍ය කමල් වල්ගම යන මහත්වරු ද එක්ව සිටියහ.
Comments
Post a Comment
Your comment will be visible after approval