licenses-of-82-substandard-drug-stores-suspended

 නිසි ප්‍රමිතියට අනුකූලව පවත්වාගෙන නොයන ලද දිවයින පුරා පිහිටි ඖෂධ අලෙවිසැල් 82ක බලපත්‍ර තාවකාලිකව අත්හිටවූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (25) ප්‍රකාශ කළේය.



මෙම වසරේ ජනවාරි මස සිට ජූලි 18 වනදා දක්වා කාලසීමාව තුළ ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ඖෂධ ශාලා බලපත්‍ර අලුත් කිරීම සඳහා ඉල්ලීම් 2039ක් ඉදිරිපත් වී තිබිණි.

එම ඉල්ලීම් අතුරින් සුදුසුකම් සපුරන ලද ඖෂධ ශාලා 1820ක් සඳහා නව බලපත්‍ර නිකුත් කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

කෙසේ වෙතත්, එම කාලය තුළදී බලපත්‍ර අලුත් කිරීම සඳහා ඉල්ලුම් කළ ඖෂධ අලෙවිසැල් 219ක බලපත්‍ර යාවත්කාලීන කිරීම තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එම අත්හිටවූ බලපත්‍ර අතුරින්, ඖෂධ අලෙවිසැල් 137ක පූර්ණකාලීන ඖෂධවේදීන්ගේ සේවය නොමැති වීම බලපත්‍රය අලුත් නොකිරීමට ප්‍රධාන හේතුව වී තිබේ.

එම ඔසුසැල් සඳහා පූර්ණකාලීනව වගකීම් දැරිය හැකි ඖෂධවේදීන් ඉදිරිපත් කරන තෙක් බලපත්‍ර අලුත් කිරීම අත්හිටුවා ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.