journalist-covered-in-floods-in-pakistan-gets-swept-away-video

 පකිස්ථානයේ පන්ජාබ් පළාතේ පවතින දරුණු ගංවතුර තත්ත්වය වාර්තා කරමින් සිටි මාධ්‍යවේදියෙකු, සජීවී විකාශයක් අතරතුර ප්‍රබල ජල පහරකට හසුව ගසාගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට ජාත්‍යන්තර අවධානයට ලක්වී තිබේ.



මෙම සිදුවීම වාර්තා වන්නේ රාවල්පින්ඩි ප්‍රදේශයේ චහාන් වේල්ල බිඳී යාමෙන් ජලයෙන් යටවූ ප්‍රදේශයකදී වන අතර, අදාළ මාධ්‍යවේදියා ගෙල දක්වා ජලයේ ගිලී සිටිමින් වාර්තාකරණයේ නිරත වී ඇත. ඔහුගේ හිස සහ මයික්‍රෆෝනය අතැති අත පමණක් ජලයෙන් මතුපිටට පෙනෙන්නට තිබියදී,

හදිසියේ පැමිණි ප්‍රබල දිය රැල්ලක් ඔහුව ගසාගෙන ගොස් තිබේ. මෙම සිදුවීමත් සමග ඇතැමුන් ඔහුගේ නිර්භීතකම අගය කරන අතර, තවත් පිරිසක් එය අනවශ්‍ය අවදානමක් ගැනීමක් ලෙස විවේචනය කරති.

ගංවතුරට හසුව ගසාගෙන ගිය මෙම මාධ්‍යවේදියා කවුරුන්ද යන්න හෝ ඔහුව බේරා ගැනීමට හැකිවීද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත. මීට පෙරද පකිස්ථානයේ මාධ්‍යවේදීන් මෙවැනි අවදානම් වාර්තාකරණයන්හි නිරත වී ප්‍රසිද්ධියට පත් වූ අවස්ථා වාර්තා වී තිබේ.

පකිස්ථානයේ පන්ජාබ් පළාතට ජුනි 26 වැනිදා සිට පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය උද්ගතවී ඇත. පසුගිය පැය 24 තුළ පමණක් පුද්ගලයන් 63 දෙනෙකු මියගොස් ඇති අතර, මේ වන විට සමස්ත මරණ සංඛ්‍යාව 124 දක්වා ඉහළ ගොස් ඇත.