නැවත ආරම්භ කර ඇති පාතාල මර්දන මෙහෙයුම් යටතේ, පොලිස් විශේෂ කාර්ය බළකාය ඊයේ (25) අලුයම කහතුඩුව, පාලගම ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී ප්‍රබල පාතාල සාමාජිකයෙකු මරුමුවට පත්වී තිබේ. විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මියගිය පුද්ගලයා, ‘කොස් මල්ලී‘ නමැති පාතාල නායකයාගේ කල්ලියේ ප්‍රධාන පෙළේ කුලී ඝාතකයෙකු බවයි.
මියගොස් ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි ජීවන් චාමර ජනක නමැත්තෙකි. මත්ද්‍රව්‍ය චෝදනා මත 2011 වසරේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ සැරයන් තනතුරකින් ඔහුව සේවයෙන් පහ කර ඇති අතර,
අනතුරුව ඔහු ‘කොස් මල්ලී‘ ගේ කල්ලියට එක්වෙමින් විවිධ අපරාධ සඳහා සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
මෑතකදී, එනම් ඉකුත් 18 වන දා, දෙහිවල දුම්රිය ස්ථානය අසලදී ‘බස් අසිත‘ නමැත්තාට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිදුවීමටද මෙම පුද්ගලයා සෘජුවම සම්බන්ධ බවට විමර්ශන පැවැත්විණි. ‘කොස් මල්ලී‘ සහ ‘බඩෝවිට අසංක‘ යන පාතාල කල්ලි අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස එම ප්‍රහාරය එල්ල වී ඇති බවට පොලිසිය සැක පළ කරයි. වෙඩි කෑමට ලක්වූ ‘බස් අසිත‘, ‘බඩෝවිට අසංක‘ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘වෙලේ සුදා‘ ගේ සමීපතමයෙකු වීම මෙම ප්‍රහාරයට හේතුවන්නට ඇති බවට විශ්වාස කෙරේ.
මෙම කුලී ඝාතකයා කහතුඩුව, පාලගම, කැදැල්ඕවිට ප්‍රදේශයේ පාළු ඉඩමක පිහිටි නිවසක සැඟවී සිටින බවට ලද තොරතුරක් මත, පොලිස් විශේෂ කාර්ය බළකාය ඊයේ අලුයම 4.30ට පමණ එම නිවස වටලා ඇත. එහිදී සැකකරු ටී-56 ගිනි අවියකින් නිලධාරීන්ට වෙඩි තබා ඇති අතර, එමගින් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙකුද තුවාල ලබා තිබේ. අනතුරුව නිලධාරීන් එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ බරපතළ තුවාල ලැබූ පාතාල සාමාජිකයා සහ තුවාල ලැබූ නිලධාරියා රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.