irregular-words-in-the-anuradhapura-scholarship-practice-exam

 අනුරාධපුර අධ්‍යාපන කලාපයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා නිකුත් කළ ආදර්ශ ප්‍රශ්න පත්‍රයක පැවති බරපතල මුද්‍රණ දෝෂ හේතුවෙන් සිසුන් සහ ගුරුවරුන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව වාර්තා වේ. ඇතැම් වචනවල අකුරු මාරුවීමෙන් සෑදුණු අසභ්‍ය වචන මෙම ප්‍රශ්න පත්‍රයේ අන්තර්ගතව තිබීම ගුරුවරුන්ගේ චෝදනාවට ලක්ව තිබේ.



මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අනුරාධපුර අධ්‍යාපන කලාපයේ සිසුන් 2000කට ආසන්න පිරිසක් සඳහා මෙම පෙරහුරු ප්‍රශ්න පත්‍රය පසුගිය අඟහරුවාදා (22) දින බෙදා දී ඇත.

අදාළ ප්‍රශ්න පත්‍රය කලාප අධ්‍යාපන කාර්යාලය මගින් සකස් කර පාසල් වෙත ලබා දීමෙන් අනතුරුව විදුහල්පතිවරුන් විසින් එය මුද්‍රණය කර සිසුන් අතට පත් කර තිබිණි.

ප්‍රශ්න පත්‍රය කියවීමේදී එහි අඩංගු නුසුදුසු වදන් හේතුවෙන් දරුවන් නොසන්සුන්කාරී ලෙස හැසිරීමත් සමඟ ගුරුවරුන් ඒ පිළිබඳව සොයා බලා ඇති අතර, එහිදී මෙම මුද්‍රණ දෝෂ අනාවරණය කරගෙන ඇත.

ගුරුවරුන් විසින් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමෙන් අනතුරුව, කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ඒ පිළිබඳව පැමිණිලි කර තිබේ. ඒ අනුව, වහාම ක්‍රියාත්මක වූ කලාප අධ්‍යාපන කාර්යාලය එම මුද්‍රණ දෝෂ නිවැරදි කර, සංශෝධිත ප්‍රශ්න පත්‍රය නැවත පාසල් වෙත ලබා දීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.