pillayans-petition-alleging-that-he-is-being-held-in-prison-for-no-reason-to-be-heard

 හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් මහතා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබේ. කිසිදු හේතුවක් නොදක්වා තමන්ව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා තබා ගැනීමට එරෙහිව මෙම පෙත්සම ගොනු කර ඇති අතර, එහි විභාගය ඔක්තෝබර් මස 31 වන දින පැවැත්වීමට නියමිතය.



කුමුදුනී වික්‍රමසිංහ, සෝභිත රාජකරුණා සහ සම්පත් විජයරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී,

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා පෙන්වා දුන්නේ පසුගිය අප්‍රේල් 08 වන දා මඩකළපුවේදී සිය සේවාදායකයා අත්අඩංගුවට ගන්නා විට ඊට හේතුව පැහැදිලි නොකළ බවයි. පසුව නිකුත් කළ රැඳවුම් නියෝගයේද නීතිමය වගන්ති පමණක් සඳහන් වන බවත්, එය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් ඔහු තර්ක කළේය.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂී හේරත් මහත්මිය අධිකරණයට දන්වා සිටියේ 2006 වසරේදී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධ පැමිණිල්ලකට අනුව පෙත්සම්කරු අත්අඩංගුවට ගත් බවයි. සාක්ෂිකරුවන් සාක්ෂි දීමට මැලිවීම නිසා මෙතෙක් කල් අක්‍රියව තිබූ එම විමර්ශනය, මේ වන විට සාක්ෂිකරුවන් ඉදිරිපත් වීම නිසා නැවත ආරම්භ කර ඇති බවද ඇය සඳහන් කළාය.

කෙසේ වෙතත්, වසර 20කට ආසන්න කාලයක් පැරණි පැමිණිල්ලක් මත සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව පෙත්සම්කාර පාර්ශ්වය පෙන්වා දුන් අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඊට

හේතු වාචිකව දැන්වූ බවට අත්අඩංගුවට ගත් නිලධාරීන් දිවුරුම් ප්‍රකාශයක් මගින් දන්වා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැන්වීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම විභාගයට ගැනීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය, විරෝධතා සහ ලිඛිත දේශන ගොනු කිරීම සඳහා පාර්ශ්වයන්ට කල් ලබා දුන්නේය. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රහස් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති මාධව ගුණවර්ධන, රහස් පොලිස් අධ්‍යක්ෂ ඉමේෂා මුතුමාල, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ආරක්ෂක අමාත්‍ය අනුර දිසානායක සහ නීතිපතිවරයා නම් කර තිබේ.