investigations-into-10-mps-who-covered-up-bond-scam-for-liquor-money

 මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ තොරතුරු වසන් කිරීම සහ එය යට ගැසීම සඳහා මෙන්ඩිස් මත්පැන් සමාගමින් අල්ලස් වශයෙන් කෝටි ගණනක මුදල් හා වරප්‍රසාද ලබා ගත් බවට චෝදනා එල්ල වූ හිටපු සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.



විමර්ශනයට ලක්ව ඇති මෙම දස දෙනා අතර විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද වන බව වාර්තා වන අතර, ඔවුන් අතර සමගි ජන බලවේගය නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකුගේ නමක්ද කියැවේ.



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇති තොරතුරුවලට අනුව, චෝදනාවට ලක්ව සිටින විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්, බැඳුම්කර සිද්ධිය කරළියට පැමිණි මුල් අවධියේදී ඒ සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක ස්ථාවරයක සිට ක්‍රියා කර ඇත. කෙසේ වෙතත්, අදාළ මත්පැන් සමාගමෙන් මුදල් සහ වරප්‍රසාද ලැබීමෙන් අනතුරුව ඔවුන් එම විවේචන නතර කර නිහඬ පිළිවෙතක් අනුගමනය කර ඇති බවට විමර්ශනවලදී හෙළි වී තිබේ.

අදාළ මන්ත්‍රීවරුන් වෙත මෙම මත්පැන් සමාගම විසින් නිකුත් කරන ලදැයි සැක කෙරෙන චෙක්පත් කිහිපයක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති බව දැනගන්නට ඇත. කලක් යටපත්ව තිබූ මෙම විමර්ශන මෑතකදී නව වටයකින් ආරම්භ වී ඇති අතර, එය සිදුව ඇත්තේ මෙම විමර්ශන මුලින්ම මෙහෙයවූ රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා එම දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස නැවත පත් කිරීමෙන් පසුව වීම විශේෂත්වයකි.

මේ පිළිබඳව විමසූ අවස්ථාවකදී මහජන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි.

සිද්ධියේ ප්‍රධාන සැකකරු වන අර්ජුන මහේන්ද්‍රන් මේ වන විට වෙනත් නමකින් සිංගප්පූරුවේ වාසය කරන බැවින් ඔහුව අත්අඩංගුවට ගැනීමට නීතිමය වශයෙන් බාධා පැවතියද, ඔහු නොමැතිව නඩු පැවරීමට හැකියාව ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ. කෙසේ නමුත්, මෙම බැඳුම්කර සිද්ධිය සම්බන්ධ විමර්ශන මුල් කාලයේදී ඉතා සක්‍රීයව පැවතිය ද, එකල සිටි ප්‍රබල දේශපාලනඥයෙකුගේ මැදිහත්වීම මත ඒවා යටපත් කෙරුණු බවට පොලිස් ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු අනාවරණය වේ.