a-three-wheeler-carrying-a-mother-and-her-daughter-was-shot-at-in-kosgama

 කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේදී අද (06) අලුයම ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි මවක්, ඇගේ දියණිය සහ තවත් පාතාල පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් අතර සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැලකෙන 'කොටහැර පොඩ්ඩා' නැමැත්තා ද වන බව කොස්ගම පොලිසිය තහවුරු කරයි.



හංවැල්ල ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් නරඹා යළි නිවෙස් බලා ගමන් කරමින් සිටියදී මෙම පිරිස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පළාගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ප්‍රහාරය සිදුවන අවස්ථාවේ තිදෙනාම ත්‍රිරෝද රථයේ පසුපස අසුනේ ගමන් කර ඇත.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි මවක්, ඇයගේ 12 හැවිරිදි දියණිය සහ 44 හැවිරිදි වියේ පසුවන කොටහැර පොඩ්ඩා ය. ඔවුන් ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර,

තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

සිද්ධිය වූ ස්ථානයේ පොලිසිය කළ පරීක්ෂාවේදී මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් නිකුත් කළ බවට සැකකෙරෙන හිස් උණ්ඩ කොපු නවයක් සොයාගෙන ඇත. වෙඩි ප්‍රහාරයෙන් පසු තුවාල ලැබූ කොටහැර පොඩ්ඩා මුලදී අසල පිහිටි නිවසක සැඟවී සිටියදී සොයාගත් බවද පසුව රෝහල්ගතකළ බවද පොලිසිය පවසයි. වෙඩි තැබීමට නිශ්චිත හේතුව මෙතෙක් හෙළි වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොස්ගම පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

gossiplanka image 1


gossiplanka image 3