sergeants-handcuffs-found-in-bag-left-behind-at-kandy-lodge

 මහනුවර දළදා වීදිය ප්‍රදේශයේ පිහිටි නවාතැන්පොළක අත්හැර දමා තිබූ අත්විලංගු යුවළක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව කැලණිය පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයකු මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.





මෙම සිද්ධිය අනාවරණය වී ඇත්තේ අදාළ නවාතැන්පොළේ කළමනාකරු විසින්, මාසයකට අධික කාලයක් තිස්සේ හිමිකරුවකු නොවූ බෑගයක් පරීක්ෂා කිරීමේදීය. එහි තිබී මෙම අත්විලංගු යුවළ හමුවීමෙන් අනතුරුව, ඔහු ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කර එම භාණ්ඩය පොලිස් භාරයට පත් කර ඇත.

පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලදී මෙම අත්විලංගු බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් ඒවා බවට පළමුව තහවුරු කරගෙන තිබේ. පසුව කරන ලද වැඩිදුර විමර්ශන මගින්, ඒවා අදාළ පොලිස් සැරයන්වරයා විසින් නවාතැන්පොළේ දමා ගොස් ඇති බවට හෙළිදරව් කරගෙන ඇත.

ඒ අනුව, සැකකාර පොලිස් සැරයන්වරයා මහනුවර පොලිස් ස්ථානය වෙත කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසුව, රජයේ දේපළක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සහ අවභාවිතයේ යෙදවීම යන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.