thilini-priyamali-who-scolded-and-beat-up-the-person-who-went-to-distribute-the-summons-summoned-to-court

 අධිකරණ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සහ යුක්තිය ඉටු කිරීමට බාධා පැමිණවීම යන චෝදනාවලට අදාළව, ව්‍යාපාරිකාවක වන තිළිණි පියුමාලි හට අ​ද (15) දින හෝමාගම මූලස්ථාන පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කර තිබේ.



මෙම නියෝගයට පාදක වී ඇත්තේ හෝමාගම දිසා අධිකරණයේ සිතාසි බෙදන්නෙකු වන අරුණ ප්‍රේමශාන්ත මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලකි. ඉකුත් ජුනි 16 වන දින, වෙනත් නඩුවක් සඳහා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටි තිළිණි පියුමාලි වෙත දිසා අධිකරණ නියෝගයක් මත සිතාසියක් භාර දීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම සිදුවීම වාර්තා වී ඇත.



පැමිණිල්ලට අනුව, අධිකරණය ඉදිරිපිට මාර්ගයේදී සිතාසිය භාරදීමට උත්සාහ කිරීමේදී තිළිණි පියුමාලි විසින් ප්‍රසිද්ධියේ සිතාසි බෙදන්නාට දෝෂාරෝපණය කර, එම සිතාසිය උදුරාගෙන එහි පිටුපස යමක් සටහන් කර නැවත ඔහු වෙත දමා ගසා ඇති බව සඳහන් වේ.සිතාසි පත්‍රය දමා ගසමින් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් බැණ වැදී ඇතැයි ද සඳහන් විය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ප්‍රමාද වීම පිළිබඳව මහේස්ත්‍රාත්වරිය පොලිසියෙන් කරුණු විමසූ අතර, එහිදී පොලිසිය අධිකරණයට දන්වා සිටියේ සැකකාරිය නිවසේ නොසිටීම හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවයි.

පොලිසියේ මෙම ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ මහේස්ත්‍රාත්වරිය, මෙය පොලිස් නිලධාරියෙකුට සිදු වූවා නම් මෙලෙස ප්‍රමාද නොවනු ඇති බවට විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළාය.

මෙම නඩු විභාගයේදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සුමිත් පරාක්‍රම පෙරේරා මහතා පෙනී සිටි අතර, තිළිණි පියුමාලි වෙනුවෙන් නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා පෙනී සිටියේය.