eight-young-women-found-unconscious-in-a-salon-in-kandy

මහනුවර, පේරාදෙණිය පාරේ පිහිටි රූපලාවණ්‍යාගාරයක සේවිකාවන් සහ සේවාලාභීන් ඇතුළු අට දෙනෙකුගෙන් යුත් පිරිසක් හදිසියේ සිහිසුන්ව ඇද වැටීමෙන් රෝහල් ගත කර ඇත. 



විදුලිය විසන්ධි වීමක් හේතුවෙන් ක්‍රියාත්මක කරන ලද විදුලි ජනක යන්ත්‍රයකින් නිකුත් වූ විෂ වායුවක් ආශ්වාස වීම මෙම සිදුවීමට හේතු වී ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. රූපලාවණ්‍යාගාරයේ දොර ජනෙල් වසා දමා වායුසමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කර තිබියදී විදුලි ජනකය ක්‍රියාත්මක කිරීම නිසා කාබන් මොනොක්සයිඩ් වැනි විෂ වායුවක් ගොඩනැගිල්ල තුළ රැඳී තිබෙන්නට ඇතැයි පොලීසිය සහ රෝහල් ආරංචි මාර්ග සැක පළ කරයි.

මෙම සිදුවීම මුලින්ම නිරීක්ෂණය වී ඇත්තේ අසල වෙළඳසැලක සේවකයෙකුටය. රූපලාවණ්‍යාගාරය ඉදිරිපිට තරුණියක් සිහිසුන්ව වැටී සිටිනු දුටු ඔහු, තවත් පිරිසකගේ සහාය ඇතිව දොර විවෘත කර බැලීමේදී තවත් කාන්තාවන් සය දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු ඇතුළු පිරිසක් ඇතුළත සිහිසුන්ව සිටිනු දැක තිබේ.

ඒ ගැන අසල්වාසී සාප්පු තරුණයෙකු කරන විස්තරය

අද උදේ ඉඳලා කරන්ට් එක තිබ්බේ නෑනේ. ඔය පස්සෙ මේ මේ කට්ටිය ජෙනරේටර් එකක් රෙන්ට් එකට අරං ෂොප් එක ඇතුළේ තියලා තියනවා. ඒසී එකත් දාලා තියනවා.
 මේක ඇතුළු තිබ්බ නිසා එතැනින් පිටත් වන පෙට්රල් වාෂ්ප  ඒසී එකින් එන ගෑස් එකයි ලීක් වෙලා කට්ටියට පොඩ්ඩක් කලන්තේ වගේ හැදිලා අටදෙනෙක් වගේ හිටිය මං දන්න තරමින් 04 දෙනෙක් පිට කස්ටමස්ලා 4 දෙනෙක් මෙතන සේවා යෙදෙන අය. සිද්ධියෙන් පස්සේ  4 දෙනෙකුගේ පොඩ්ඩක් සීරියස් හිටියා. හොස්පිටල් එකින් ඇවිල්ල බලද්දි තත්වය  පොඩ්ඩක් ලාවට වගේ සිහියෙන් හිටියේ  තුන්දෙනෙක් වගේ පොඩ්ඩක් අමාරුයි කියලකිව්වා. ඒත් කවුරුත් කතාබහ කරන්න අමාරුවෙන් හිටියෙ.එක්කෙනෙක් විතරක් පොඩ්ඩක් සිහියෙන් හිටිය අනික් පස්දෙනාම වැටිලා වගේ හිටියේ. කලන්තෙ දාලා කටින් පෙන ඇවිල්ල තිබ්බ.


වහාම ක්‍රියාත්මක වූ ඔවුන් මේ පිළිබඳව පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව, සිහිසුන්ව සිටි සියලු දෙනා රෝහල් වෙත රැගෙන යාමට කටයුතු සම්පාදනය කර ඇත.

රෝහල් ගත කළ පිරිසෙන් හය දෙනෙකු මහනුවර ජාතික රෝහලටත්, ඉතිරි දෙදෙනා පෞද්ගලික රෝහලකටත් ඇතුළත් කර ඇති බව වාර්තා වේ. ඔවුන්ගෙන් සිව් දෙනෙකු අදාළ රූපලාවණ්‍යාගාරයේ සේවිකාවන් වන අතර, අනෙක් සිව් දෙනා සේවා ලබා ගැනීමට පැමිණි පාරිභෝගිකයින් බවට තොරතුරු අනාවරණය වී ඇත.

ප්‍රතිකාර ලබන සියලු දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කළේය.

නිවසේ භාවිත කරන විදුලි ජනක යන්ත්‍රයක් (ජෙනරේටරයක්) පණ ගැන්වීමේදී, එය සෑම විටම නිවසින් පිටත, නිවසේ සිට අවම වශයෙන් අඩි 20ක් වත් ඈතින් ස්ථානගත කිරීම අත්‍යවශ්‍ය  බව විශේෂඥ මතයයි. එසේම, යන්ත්‍රයෙන් පිටවන දුම, නිවසේ ජනෙල්, දොරවල් සහ වාතාශ්‍රය ලැබෙන විවරයන්ගෙන් ඉවතට යොමු වන සේ තැබිය යුතුය.

මෙම පියවර ගැනීම ඉතා වැදගත් වන්නේ, විදුලි ජනක යන්ත්‍ර මගින් නිපදවනු ලබන කාබන් මොනොක්සයිඩ් නමැති විෂ වායුව ආශ්වාස වීම වැළැක්වීම සඳහාය. කාබන් මොනොක්සයිඩ් යනු කිසිදු වර්ණයක් හෝ ගන්ධයක් නොමැති, එහෙත් මිනිස් ජීවිතයට මාරාන්තික විය හැකි වායුවකි.

gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4


gossiplanka image 5
gossiplanka image 6
gossiplanka image 7


gossiplanka image 8
gossiplanka image 9
gossiplanka image 10