they-came-to-the-pub-belonging-to-dematagoda-ruwan-and-tried-to-kill-him

 කොල්ලුපිටියේ පිහිටි ප්‍රධාන පෙළේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල සාමාජික දෙමටගොඩ රුවන් ඉලක්ක කරමින් ටී-56 ගිනි අවියකින් වෙඩි තැබීමට පැමිණි දෙදෙනෙකුගේ උත්සාහයක් එම ස්ථානයේ ආරක්ෂකයින්ගේ ක්ෂණික ක්‍රියාකාරීත්වය හේතුවෙන් ව්‍යර්ථ වී තිබේ. 



මෙම සිදුවීම ඊයේ (19) මධ්‍යම රාත්‍රිය ආසන්නයේදී වාර්තා වී ඇති අතර, රාත්‍රී සමාජ ශාලාව වෙත යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගේ සැකකටයුතු හැසිරීම එහි ආරක්ෂක නිලධාරීන්ගේ අවධානයට ලක්වී ඇත.



යතුරුපැදියේ පසුපස අසුනේ සිටි පුද්ගලයා සතුව ටී-56 වර්ගයේ ප්‍රහාරක ගිනි අවියක් ඇති බව නිරීක්ෂණය කළ එක් ආරක්ෂක නිලධාරියෙකු, නිර්භයව ඉදිරිපත් වී ඔහු හා පොරබැදීමෙන් අනතුරුව එම ගිනි අවිය සිය භාරයට ගැනීමට සමත්ව තිබේ. ඇතිවූ කලබලයත් සමග වෙඩික්කරුවන් දෙදෙනා සිය යතුරුපැදිය සහ ගිනි අවියද එම ස්ථානයේම දමා පලාගොස් ඇත.


පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම ඝාතන සැලසුමේ ඉලක්කය වී ඇත්තේ 'දෙමටගොඩ රුවන්' නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බවයි. විශේෂත්වය වන්නේ මෙම රාත්‍රී සමාජ ශාලාවේ හිමිකාරීත්වය ද ඔහු සතුවන බවට තොරතුරු වාර්තා වීමය.
දෙමටගොඩ රුවන් විසින් තමන් ඝාතනය කිරීමට වෙඩික්කරුවන් රැගෙන ආ ටී 56 වර්ගයේ ගිනි අවිය ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව බන්ධනාගාරගතව සිටින 'දෙමටගොඩ චමින්ද' ගේ සහෝදරයා වන්නේ ද මෙම 'දෙමටගොඩ රුවන්' නැමැත්තාය.
 නීතිවිරෝධි ක්‍රියාවලින් උපයා ගත් මුදලින් මිලදී ගත් රුපියල් කෝටි 11කට අධික වටිනාකමකින් යුත් අති සුඛෝපභෝගී මෝටර් රථ සහ රන් ආභරණ සන්තකයේ තබාගත් බවට චෝදනා කරමින් දෙමටගොඩ රුවන්, බිරිද සහෝදරිය සහ පුතාට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ පසුගිය ඔක්තෝබර් මාසයේ නඩුවක්ද පවරා ඇත. 

gossiplanka image 1
gossiplanka image 2


gossiplanka image 3
gossiplanka image 4


gossiplanka image 5