
අල්ලස් චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් දෙදෙනෙකුට මරණ තර්ජනය කළ බවට චෝදනාවක් එල්ල වී තිබේ. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලීසියට නියෝග කර ඇත.
අදාළ නඩු කටයුත්ත අවසන් වී අධිකරණ පරිශ්‍රයෙන් පිටව යමින් සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ නීතිඥ සුලෝචනා හෙට්ටිආරච්චි සහ විමර්ශන නිලධාරී දිලුම් දුෂාන්ත යන නිලධාරීන්ට සැකකාර වෛද්‍යවරියගේ දියණිය විසින් මෙලෙස තර්ජනය කර ඇති බව සඳහන් වේ. සිදුවීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වූ එම නිලධාරීන් දෙදෙනා ඒ පිළිබඳව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබිණි.
සැකකාර විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් ගොනු කරන ලද මෝසමක් ඊයේ (04) දින අධිකරණය හමුවේ සලකා බලන ලදී. එම අවස්ථාවේදී අල්ලස් කොමිසම නියෝජනය කරමින් පෙනී සිටි
නිලධාරීන් එම ඇප ඉල්ලීමට දැඩි විරෝධය පළ කළහ.
එල්ල වූ මරණ තර්ජනය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිස් ස්ථානය වෙත ගොස් විධිමත් පැමිණිල්ලක් ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය. එමෙන්ම, සැකකාරියගේ ඇප ඉල්ලීම පිළිබඳව සවිස්තරාත්මක කරුණු දැක්වීම සඳහා නඩුව ලබන 08 වන දින යළි කැඳවීමටද අධිකරණය නියම කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval