how-sm-chandrasena-went-inside-for-two-weeks-with-his-bag-of-laughter

 හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා ලබන 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ (04) නියෝග කළාය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි. දඬුවම පිළිගත් ඔහු තම කළමනා කහ පැහැති ලාෆ්ස් බෑග් එකක අසුරාගෙන අධිකරණ බසයට නැග යන්න ගියේය.



අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, 2014 වර්ෂයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවි ජනතාව වෙත සහන මිලට ලබාදීම සඳහා රුපියල් මිලියන 25ක් වැයකර ගෙන්වන ලද බඩඉරිඟු බීජ තොගයක්, 2015 ජනාධිපතිවරණයේදී දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් අවභාවිත කළ බවට හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වී ඇති බවයි. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් කර, එම බීජ තොගය තම දේශපාලන හිතවතුන් හරහා බෙදා හැරීමෙන් රජයට පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බව කොමිසම පැවසීය.



මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ 2015 වසරේදී නිමල් විජේතුංග නැමැත්තෙකු විසින් දූෂණ මර්දන කාර්යාලයට කරන ලද පැමිණිල්ලකට අනුව බව අල්ලස් කොමිසමේ නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ. නීත්‍යානුකූල ක්‍රමවේදයට අනුව සංවර්ධන නිලධාරීන් විසින් සකස් කළ යුතු ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය වෙනුවට, සැකකාර හිටපු අමාත්‍යවරයා විසින්ම සකස් කරන ලද ලේඛනයකට අනුව මෙම බීජ බෙදා දී ඇති බවත්, මැතිවරණය ආසන්නයේදී මෙම ක්‍රියාව සිදුකර ඇත්තේ දේශපාලන වාසි තකා බවත් විමර්ශනවලදී තහවුරු වූ බව සඳහන් කෙරිණි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඕනෑම ඇප කොන්දේසියක් මත තම සේවාදායකයා නිදහස් කරන ලෙස ඉල්ලා සිටි නමුත්, අල්ලස් කොමිසම ඊට දැඩිව විරුද්ධ විය. මෙම නඩුවේ පැමිණිලිකරු විසින්ම මීට පෙර කරන ලද පැමිණිල්ලක් මත සැකකරුගේ බිරිඳට සහ සහෝදරයාට මහාධිකරණය මගින් සිර දඬුවම් නියම වූ බවත්, එම තීන්දුවෙන් පසු සැකකරුගේ ආධාරකරුවන් පිරිසක් පැමිණිලිකරුට පහර දී ඇති බවත් කොමිසම පෙන්වා දුන්නේය.

එම පහරකෑමෙන් පසු පැමිණිලිකරු දින 18ක් පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇති බැවින්, සැකකරු ඇප මත නිදහස් කළහොත් සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල වීමේ දැඩි අවදානමක් පවතින බවද ඔවුහු අවධාරණය කළහ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය, විමර්ශන අවසන් වන තෙක් සැකකාර එස්. එම්. චන්ද්‍රසේන මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය. රජයේ මුදල් රුපියල් ලක්ෂ 16ක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ සැකකරුගේ බිරිඳ සහ සහෝදරයා මේ වන විට වසර 20ක සිර දඬුවමක් විඳිමින් සිටීමද මෙහිදී විශේෂ සිදුවීමකි.

gossiplanka image 1


gossiplanka image 3