ශල්‍ය උපකරණ වැඩි මිලට විකිණීමේ චෝදනාව යටතේ වෛද්‍ය මහේෂි විජේරත්න ඇප මත නිදහස්
දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න විසින් ශල්‍ය උපකරණ රෝගීන් සඳහා රුපියල් ලක්ෂ ගණනින් වැඩිමිලට විකිණීමෙන් උපයන ලද මුදල් තැන්පත් කරන ලද රහසිගත බැංකු ගිණුමක් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගත් බව අල්ලස් කොමිසම, අධිකරණය වෙත ඊයේ (15 වැනිදා) දන්වා සිටියේය.
ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් "දූෂණය" නමැති වරද සිදු කරන ලදැයි චෝදනා මත දින 29 ක් රිමාන්ඩ් භාරයේ සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න රුපියල් 50,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 3 ක් මත මුදාහරින ලෙස නියම කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග, සැකකාරියට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට කිසිදු හේතුවක් මත ඇතුළුවීම තහනම් කරමින් ද නියෝගයක් ද නිකුත් කළාය.
ඊට අමතරව සැකකාරියගේ විදෙස් ගමන් වහාම තහනම් කරන ලෙස නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය, සැකකාරියගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය වෙත භාර දිය යුතු බවටද නියෝග කළාය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂිකා අනුෂා සම්බන්ධප්පෙරුම දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කරමින් මෙසේ පැවසුවාය.
"මෙම සැකකාර වෛද්‍යවරිය විසින් රෝගීන්ට ශල්‍ය වෛද්‍ය උපකරණ විකිණීම සඳහා පවත්වාගෙන ගිය එම්. එස්. එම්. නමැති ආයතනයක් පිළිබඳව මීට පෙර කරන ලද විමර්ශනයේදී කරුණු අනාවරණය වුණා. ඊට අමතරව එවැනිම ආකාරයේ ඊලිෂ් මෙඩිකල් සෙන්ටර් නමැති ආයතනයක් පිළිබඳව විමර්ශනයේදී කරුණු අනාවරණය වුණා. එම ආයතනය ශාමා කුමාරි රොද්‍රිගු නමැති අයකු විසින් ආරම්භ කරනු ලැබ ඇති බව විමර්ශනයේදී කරුණු අනාවරණය වුණා."
අල්ලස් කොමිසමේ නිලධාරීන් ශාමා කුමාරි රොද්‍රිගු නමැති තැනැත්තියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බවත්, එහිදී අනාවරණය වූයේ සැකකාර වෛද්‍යවරිය විසින් එම ආයතනය ආරම්භ කරන ලෙසට තමන්ට දැනුම් දුන් බවත්, ඒ වෙනුවෙන් තමන්ට "පොකට් මනි" ලබාදෙන බවට සැකකාර වෛද්‍යවරිය විසින් තමන්ට ප්‍රකාශ කළ බවත් සහකාර අධ්‍යක්ෂිකා පැවසුවාය.
අදාළ ආයතනයට අදාළව ශාමා කුමාරි රුද්‍රිගු සහ සැකකාර වෛද්‍යවරිය අතර බැංකු ගිණුමක් ආරම්භ කර පවත්වාගෙන යන බවත්, එම ගිණුමට වෛද්‍ය උපකරණ විකිණීමෙන් ලැබෙන මුදල් බැර වී ඇති බවත් අනාවරණය වී ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය. එම ගිණුමට අදාළ මුදල් නිකුත් කිරීමේ බලය මෙම සැකකාර වෛද්‍යවරිය වෙත පවරා තිබූ බවත් විමර්ශනයේදී අනාවරණය වූ බව ඇය පැවසුවාය.
"ඒ අනුව සැකකාර වෛද්‍යවරියගේ නියෝග මත එම ගිණුමෙන් මුදල් මෙම නඩුවේ දෙවැනි සැකකාර රංජිත් මුතුකුඩ නමැත්තාට නිකුත් කර තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වුණා. මෙම සැකකාරිය වෛද්‍ය උපකරණ රෝගීන්ට විකිණීම සඳහා තවත් ආයතන පවත්වාගෙන යන්නේ ද පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කරනවා. විමර්ශන අවසන් නොමැති හෙයින් සැකකාර වෛද්‍යවරිය තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඉල්ලා සිටිනවා," යනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂිකා පැවසුවාය.
සැකකාර වෛද්‍යවරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මෙසේ පැවැසීය.
"මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු මහජන කැලඹීමක් නැහැ. දැන් තිබෙන්නේ කෘත්‍රිමව නිර්මාණය කළ සමාජ මාධ්‍ය රැල්ලක් විතරයි. අල්ලස් කොමිසම ඉල්ලූ පමණින් සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් නොකරන ලෙස ඉල්ලා සිටිනවා. අල්ලස් කොමිසම පෝලිමට මිනිස්සු අල්ලන් ඇවිල්ලා රිමාන්ඩ් කරන්න කියා අධිකරණයෙන් ඉල්ලීම කරනවා. සැකකාර වෛද්‍යවරිය ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටිනවා."
මෙම සිද්ධියට අදාළව ඇප මත මුදා හැර සිටින සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක මෙසේ පැවසීය.
"ස්වාමීනි... දැන් හිරු එළිය හොඳට තියෙද්දී අධිකරණය තුළ විදුලි බල්බ දල්වා තිබෙනවා. යම් කෙනෙකුට පැමිණිල්ලක් කරන්න පුළුවන් හිරු එළිය හොඳින් තියෙද්දි විදුලි බල්බ පත්තු කරලා රජයට පාඩුවක් කළා කියලා. එවැනි තත්ත්වයක් ආවොත් අල්ලස් කොමිසම අහයි අධිකරණ නිලධාරීන්ගෙන් මේ ලයිට් දාන්න නියෝග දුන්නේ කවුද කියලා. නිලධාරීන් කියයි ඔබතුමිය කියලා. මෙහෙම ගියොත් වැඩි කාලයක් යන්නට කලින් අල්ලස් කොමිසම ඔබතුමියවත් මේ විත්ති කූඩුවට අරන් එන්න පුළුවන්."
තවත් අවස්ථාවක දී, අල්ලස් කොමිසම විසින් සිද්ධියට අදාළව වැඩිදුර කරුණු ඉදිරිපත් කරන ලදී.
"ස්වාමිනී මෙම සිද්ධියට අල්ලස් කොමිසම විසින් මෙම සැකකාරිය එන්.එම්.එන්. ආයතනය හරහා මෙම ආයිත්තම් දෙක විකිණීම සම්බන්ධව මීට පෙර කරුණු දක්වලා තියෙනවා. නමුත් ස්වාමිනී කරන ලද විමර්ශනවලදී අනාවරණය වෙලා තිබෙනවා මෙම ආයතනයට අමතරව හීලිස් නමැති ආයතනයක් හරහා සිද්ධියට අදාළ වෛද්‍ය උපකරණ අලෙවි කිරීමට කටයුතු කර ඇති බවට. රෝගීන්ගෙන් ලබාගත් ප්‍රකාශවලින් ඒ බව තහවුරු වෙලා තියෙනවා."
"ස්වාමිනී හීලිස් ආයතනය ශර්මා කුමාරි රුද්‍රිගෝ නමැති අය විසින් ආරම්භ කර ඇති බවත් ඇය එසේ එය ආරම්භ කර ඇත්තේ පළමුවැනි සැකකාරිය වන මෙම වෛද්‍යවරියගේ කීමකට බව සිද්ධියට අදාළව දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙමින් පවසා තිබෙනවා. එම ශර්මා කුමාරි නැමැත්තියගෙන් අල්ලස් කොමිසම විසින් ප්‍රකාශ ලබා ගැනීමට ගිය අවස්ථාවේදී පළමුවන සැකකාරියගේ බලපෑම මත නිවැරැදි තොරතුරු ලබාදී තිබුණේ නැහැ."
"ස්වාමිනී, මෙම සැකකාරියගේ බැංකු ගිණුම් කුරුඳුවත්ත පෞද්ගලික බැංකුවක තිබී සොයාගෙන තිබෙනවා. එම බැංකු ගිණුමේ සඳහන් කරලා තියෙන්නේ ඉහත වෛද්‍ය අයිතම් දෙක ගැන. ස්වාමිනී මෙම ශර්මා කුමාරි ආරම්භ කරන ලද හීලිස් පෞද්ගලික ආයතනයට මෙම සිද්ධියට අදාළ තුන්වැනි සැකකරු වන ඉන්දික නමැත්තා යටතේ මුදල් සම්බන්ධ කටයුතු සිදු වී තිබෙනවා. එන්.එම්.එන්. ආයතනය සම්බන්ධව පළමුව ප්‍රකාශ ලබා දුන්නේ චාමර සම්පත් නමැත්තෙක්. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2023/9/5 දින අනාවරණය වීමත් සමඟ එම ආයතනයේ කටයුතු හීලිස් නමැති ආයතනයක් ආරම්භ කර පවත්වාගෙන යෑමට කටයුතු කර තිබීමෙන් පැහැදිලි වෙනවා මෙම සැකකාරිය වංචනික ලෙස ක්‍රියා කර ඇති බව. ස්වාමිනී චාමර සම්පත් විසින් පළමු පැමිණිල්ල කරන ලද අවස්ථාවේදී නීතිඥවරියක සම්බන්ධ කර එය සමථයකට පත් කිරීමට කටයුතු කර තිබෙනවා."
අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ (නීති) අනූෂා මහත්මිය තවදුරටත් කරුණු දක්වමින් මෙසේද පැවැසුවාය.
"ස්වාමිනී අපට ලැබී තිබෙන චෝදනාවක් තමයි වෘත්තියකට එරෙහිව අපි දෝෂ සහගත ලෙස මෙම විමර්ශනය සිදු කරන බව. ස්වාමිනී අපි යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් විමර්ශනය සිදු කරනවා මිස දෝෂ සහගත ලෙස කිසිම ක්‍රියාවක් සිදු කරන්නේ නැහැ. මෙය ස්වාමිනී භාණ්ඩ සමඟ කරන වංචාවක් නොව අහිංසක මිනිස් ජීවිත සමඟ කරන වංචාවක්. මේ ඉතා සංවේදී විමර්ශනයක්. ස්වාමිනී අපට සමාජ මාධ්‍ය තුළ, මාධ්‍ය තුළ ජනප්‍රිය වීමට කිසිම අවශ්‍යතාවක් නෑ. මේක අපි සත්‍ය සාක්ෂි ඔප්පු කරලා කරන ලද විමර්ශනයක්. එම නිසා ස්වාමිනී පැමිණිලි පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන ලද සලකා බලා සුදුසු නියෝගයක් ලබා දෙන්න" යනුවෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
සැකකාර පාර්ශ්වය වෙනුවෙන් අධිකරණය පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සඳහන් කරනු ලැබුවේ අල්ලස් කොමිසම සමාජවාදය මතයක් නිර්මාණය කිරීමට ක්‍රියා කරමින් මෙවැනි විමර්ශන සිදු කරන බවය. එහිදී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙසේද පැවැසීය.
"ස්වාමිනී, මගේ සේවාදායකයා දැනට දින 29ක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ස්වාමිනී ඩොක්ට ශාෆිගේ වගේ මේ නඩුවත් මාධ්‍ය ප්‍රදර්ශනයක් බවට අල්ලස් කොමිසම පත් කරලා. සමහරක් මාධ්‍යවල, පත්තරවල සඳහන්ව තිබුණා බ්‍රේන් ඩෙත් අයට මාගේ සේවාදායකයා සැත්කම් කරලා කියලා. සියයට හැත්තෑවක් රෝගීන් මැරිලා කියලා තිබුණා.
ස්වාමිනී මෙම වෛද්‍යවරියට වැඩ තහනම් කරලා තිබෙන්නේ ඒ හින්දා. ජයවර්ධනපුර රෝහලට යන්න බැහැ. ස්වාමිනී අල්ලස් කොමිසමේ මනොදොළ පිනවන්න කියලා මගේ සේවාදායකයා නැවත රිමාන්ඩ් කරන්න එපා. සුදුසු නියෝගයක් මත ඇප ලබා දෙන්න" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය, සැකකාර වෛද්‍යවරිය ඇප මතු මුදා හරින ලෙසත් අදාළ නඩුව ලබන ඔක්තෝබර් 28 වැනිදා කැඳවන ලෙසත් නියෝග කළාය.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න, රුපියල් පනස් දහසක මුදල් ඇපයක් හා මිලියන පහ බැඟින් වූ ශරීර ඇප තුනක් මත ඇප ලබා දුන් අතර, ඇයට ජයවර්ධනපුර රෝහලට ඇතුළුවීම තහනම් කර ඇති අතර, විදෙස් ගමන් බලපත්‍රය භාර දී විදෙස් ගමන් තහනම් කර ඇත. නඩුව ඔක්තෝබර් 28 යළි කැඳවීමට නියමිතයි.
Comments
Post a Comment
Your comment will be visible after approval