හිටපු අමාත්‍යවරයෙකු වූ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව මිනීමැරුම් චෝදනා යටතේ පැවරූ නඩුවක අධිචෝදනා පත්‍රය බල රහිත කිරීමට අභියාචනාධිකරණය 2020 වසරේදී දුන් තීන්දුවක් අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ විශේෂ අභියාචනයක් සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 03 වන දිනට නියම කර තිබේ.
ජගත් ද සිල්වා, මහින්ද සමයවර්ධන සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.
එහිදී වගඋත්තරකාර ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා, සිය සේවාදායකයා රෝගී තත්ත්වයෙන් පසුවන බැවින් ඇවිදීමට පවා නොහැකි බව අධිකරණයට දන්වා සිටියේය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා, පෙත්සමේ කරුණු ඉදිරිපත් කිරීම සඳහා වෙනත් දිනයක් ඉල්ලා සිටි අතර, ඒ අනුව විනිසුරු මඩුල්ල විසින් ඉහත දිනය නියම කරන ලදී.
1999 වසරේදී මාතලේ, දඹුල්ගමුව ප්‍රදේශයේදී දහඅට හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ ඊට අනුබල දීම යන චෝදනා මත හිටපු අමාත්‍යවරයාට එරෙහිව මහනුවර මහාධිකරණයේ නඩු පවරා තිබුණි.
එම අධිචෝදනා පත්‍රය අභියෝගයට ලක් කරමින් තෙන්නකෝන් මහතා විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව, එම අධිචෝදනා පත්‍රය නීතියට පටහැනි බවට තීන්දු කර එය බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කිරීමට අභියාචනාධිකරණය ක්‍රියා කළේය.
අභියාචනාධිකරණයේ එම තීන්දුව නීතියට පටහැනි නියෝගයක් බැවින් එය බලරහිත කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා විසින් මෙම විශේෂ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval