dance-teacher-goes-fishing-after-printing-fake-money

 ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර සංසරණය කිරීමේ චෝදනාවක් මත මොරටුව ප්‍රදේශයේ පදිංචි පනස් දෙහැවිරිදි නර්තන ගුරුවරියක් මොරටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මොරටුව නගරයේ පිහිටි මත්ස්‍ය

වෙළෙඳසැලකදී ව්‍යාජ මුදල් නෝට්ටු මාරු කිරීමට කාන්තාවක් උත්සාහ දරන බවට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. සැකකාරිය අත්අඩංගුවට ගෙන සිදුකළ පරීක්ෂාවේදී ඇය සතුව තිබී රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු දහයක් පොලිසිය විසින් සොයාගෙන ඇත.



අනතුරුව සැකකාරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඇය පදිංචිව සිටි මොරටුව, රාවතාවත්ත, පළමු පටුමග ලිපිනයේ පිහිටි නිවස පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කරන ලදී. එම නිවසේ සඟවා තිබූ රුපියල් අනූපන්දහසක් වටිනා තවත් ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටු දහනවයක් සහ එම නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා භාවිත කළ මුද්‍රණ යන්ත්‍රයක් ඇතුළු අදාළ උපකරණ සොයා ගැනීමට පොලිසිය සමත් විය. ඊට අමතරව, නිවසේ තිබී මෙරට නීත්‍යානුකූල මුදල් වන රුපියල් හතළිස් එක්දහස් එකසියයක මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිසිය විසින් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකාරිය විසින් මෙම ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටු කාණ්ඩ දහයක් යටතේ මුද්‍රණය කර ඇති බවයි. එලෙස මුද්‍රණය කරන ලද නෝට්ටු අටක් A4 ප්‍රමාණයේ කඩදාසිවල අලවා තිබී සොයාගත් බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි. මොරටුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් මහතාගේ උපදෙස් හා මෙහෙයවීම යටතේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.