disciplinary-action-against-customs-officers-who-released-red-label-containers

ස්කෑන් පරීක්ෂාවේදී හඳුනාගත් අන්තර්ගතයේ සහ ප්‍රමාණයේ විෂමතා හේතුවෙන් භෞතිකව පරීක්ෂා කළ යුතු බවට ලබාදී තිබූ නිශ්චිත උපදෙස් නොසලකා හරිමින්, රතු ලේබල්ගත බහාලුම් නිදහස් කළ රේගු නිලධාරීන්ට එරෙහිව අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර විනයානුකූල පියවර ගත යුතු බවට පත්කළ විමර්ශන කමිටුව සිය අවසන් වාර්තාව මගින් අවධාරණය කර තිබේ. 



පසුගිය ජනවාරි මාසය තුළදී රේගු පරීක්ෂාවකින් තොරව කොළඹ වරායෙන් බහාලුම් 300කට අධික සංඛ්‍යාවක් මුදාහැරීමේ සිදුවීම විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද සිව් පුද්ගල කමිටුව මෙම වාර්තාව නිකුත් කර ඇත. නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ.කේ. සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුව නිරීක්ෂණය කර ඇත්තේ, රතු ලේබල් යොදන ලද බහාලුම් ද ඇතුළුව බහාලුම් 309ක් කිසිදු භෞතික පරීක්ෂාවකට ලක් නොකර රේගුව විසින් නිදහස් කර ඇති බවයි.



භෞතිකව පරීක්ෂා නොකරන බහාලුමක් නිදහස් කිරීමට පෙර අවම වශයෙන් ස්කෑන් පරීක්ෂාවකට හෝ ලක් කළ යුතුය යන මූලික රීතිය උල්ලංඝනය කරමින්, රතු ලේබල්ගත බහාලුම් 151ක් අතරින් 37ක් මුදා හැර ඇති බව කමිටුව සිය වාර්තාවේ සටහන් කර ඇත. එවැනි අවම පරීක්ෂාවකින් හෝ තොරව බහාලුම් නිදහස් කිරීම තුළින්, එහි සැකකටයුතු හෝ තහනම් භාණ්ඩ අඩංගු නොවන බවට වන අවම අවදානම් තහවුරුව හෝ ලබා දීමට රේගුව අපොහොසත් වී ඇති බව ද එම කමිටුව පෙන්වා දී තිබේ.

තවද, ස්කෑන් පරීක්ෂාවට ලක් කළ "රතු" බහාලුම් 114ක පවා "ඝනත්වයේ වෙනස්කම්" සහ විවිධ භාණ්ඩ මිශ්‍රණයක් පවතින බවට ස්කෑන් පරීක්ෂාව සිදුකළ

නිලධාරීන්ගේ වාර්තාවල දැක්වුණු බව කමිටුව සඳහන් කරයි. ඒ අනුව, එම බහාලුම්වල අන්තර්ගත ද්‍රව්‍ය සහ ප්‍රමාණයන් පිළිබඳව පැහැදිලි අවිනිශ්චිතතාවක් මතුවීම නිසා, භෞතික පරීක්ෂාවක් හරහා වැඩිදුරටත් විමර්ශනය කළ යුතු බවට ස්කෑන් නිලධාරීන් නිර්දේශ කර තිබියදීත්, එම නිර්දේශ නොසලකා හරිමින් බහාලුම් නිදහස් කර ඇති බව කමිටු වාර්තාවේ දැක්වේ.

පසුගිය ජනවාරි මාසයේදී උද්ගත වූ මෙම තත්ත්වයට පෙර, ඊට පෙර වසරේ ජූලි මාසයේ සිට වරායේ පැවති බහාලුම් තදබදය සමනය කිරීම සඳහා පත් කළ කමිටුව අවස්ථා 13කදී රැස්වී ඇති අතර, එම කාලසීමාව තුළ භෞතික පරීක්ෂාවකින් තොරව රතු ලේබල් බහාලුම් 999ක් සහ කහ ලේබල් බහාලුම් 1,219ක් නිදහස් කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබිණි.