අදානි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අවලංගු කළ රජයට, එම සමාගම විසින් මෙරට තුළ මුලින් දැරූ ඇමරිකානු ඩොලර් මිලියන කිහිපයක වියදම ප්‍රතිපූරණය කිරීම සඳහා මේ වන විට පීඩනයක් එල්ල වී ඇති බව වාර්තාවේ.
ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම, යෝජිත සුළං විදුලි ව්‍යාපෘති දෙකෙන් ඉවත් වන බවට ශ්‍රී ලංකා රජයට මීට පෙර දැනුම් දී තිබිණි.
ඩොලර් මිලියන 442ක් ආයෝජනය කරමින් උතුරු පළාතේ මන්නාරම සහ පූනරීන් නගරවල සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියක් ඉදිකිරීමට එම සමාගම නියමිතව තිබුණි. මෙම ව්‍යාපෘතිය මගින් 2025 වන විට ජාතික විදුලිබල පද්ධතියට අවම වශයෙන් මෙගාවොට් 350ක් එක් කිරීමට අපේක්ෂා කරන ලදී.
ශ්‍රී ලංකාවේ තිරසර බලශක්ති අධිකාරිය (SEA) සමඟ එක්ව පර්යේෂණ සහ විමර්ශන කටයුතු සඳහා මුලින් දැරූ වියදම් ප්‍රතිපූරණය කරන ලෙස ඉල්ලා, සමාගමේ බලධාරීන් විසින් මේ වසරේ මැයි මාසයේදී රජයේ බලධාරීන්ට ලිපියක් යොමු කර ඇත. කෙසේ වෙතත්, තිරසර බලශක්ති අධිකාරියට ගෙවන ලද ඇමරිකානු ඩොලර් මිලියන 3 ඇතුළුව, සියලු වියදම් ආවරණය වන පරිදි තක්සේරු කළ යුතු නිශ්චිත මුදල සමාගම මෙතෙක් සඳහන් කර නොමැත.
මෙම ප්‍රතිපූරණය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මෙතෙක් තීරණයක් ගෙන නොමැත. වත්මන් තත්ත්වය පිළිබඳව විමසූ විට, ඉහළ පෙළේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගන්නා බවයි. "කිසියම් ගෙවීමක් සිදු කරන්නේ නම්, එය සිදු කරනු ලබන්නේ කැබිනට් අනුමැතියෙන් පමණි," යනුවෙන් ඔහු පැවසීය.