වසර පහක තහනමකින් අනතුරුව වාහන ආනයනයට ඉඩ දීමත් සමග ඇතිවූ අධික ඉල්ලුම හේතුවෙන් රටේ විදේශ සංචිතවලට එල්ල විය හැකි පීඩනය සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය, ශ්‍රී ලංකා මහ බැංකුව දැනුවත් කර තිබේ. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා කඩිනම් සහ සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස භාණ්ඩාගාරය විසින් මහ බැංකුවට දන්වා ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සම්පූර්ණ වසර සඳහා වාහන ගෙන්වීමට වෙන් කර ඇති මුළු මුදල ඇමරිකානු ඩොලර් බිලියනයක් වුවද, ආනයන සීමා ඉවත් කළ පසුගිය මාස පහ තුළ පමණක් ඩොලර් මිලියන 742ක් වටිනා ණයවර ලිපි විවෘත කර තිබීම මෙම කඩිනම් අවධානයට හේතු වී ඇත. මෙය අපේක්ෂිත මට්ටම බෙහෙවින් ඉක්මවා ගිය තත්ත්වයක් වන අතර, මෙම වේගයෙන් ණයවර ලිපි විවෘත වීම සහ වාහන ආනයනය සිදුවීම පිළිබඳව භාණ්ඩාගාරය සිය දැඩි අවධානය යොමු කර ඇත.
ඒ අනුව, වාහන ආනයනය සම්බන්ධ ප්‍රවණතා පිළිබඳව දැඩි විමසිල්ලකින් කටයුතු කර, අවශ්‍ය ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග කල්තියා සූදානම් කරන ලෙස භාණ්ඩාගාරය විසින් මහ බැංකුවට නිර්දේශ කර තිබේ. පාලනයකින් තොරව ඩොලර් විශාල ප්‍රමාණයක් රටින් පිටතට ගලා යාම,
විනිමය අනුපාතයේ ස්ථාවරත්වයට සහ සමස්ත විදේශ සංචිතයටම සෘජු බලපෑමක් එල්ල කළ හැකි බවට අනතුරු අඟවා ඇත.
මෙම තත්ත්වය දිගටම පැවතියහොත් ඉන්ධන ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමේදී පවා විදේශ විනිමය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් මතු විය හැකි බවට ද පෙන්වා දී තිබේ.
මේ අතර, වාහන ආනයනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ, ආනයන සීමා ඉවත් කළ පසුගිය මාස පහක කාලය තුළ වාහන 18,000ක් මෙරටට ගෙන්වා ඇති බවයි. එමගින් රජයට රුපියල් බිලියන 220ක විශාල බදු ආදායමක් උපයා දීමට හැකිවී තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
වසරේ මුල් මාස හය තුළ රේගුව විසින් උපයා ඇති රුපියල් ට්‍රිලියනයක (කෝටි ලක්ෂයක) ආදායමට,
වාහන ආනයනයෙන් ලද බදු මුදල් ඉහළ දායකත්වයක් ලබා දී ඇති බවද ඒ මහතා කියා සිටියේය. මෙම වසර සඳහා රේගුවේ සමස්ත ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියන 2.1ක් (කෝටි දෙලක්ෂ දස දහසක්) බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval