හම්බන්තොට කුරුළු උද්‍යානයේ සඟවා තිබූ රුපියල් කෝටි 25කට අධික වටිනාකමකින් යුතු අධිබලැති යතුරුපැදි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වීමේ ජාවාරම සඳහා දේශපාලන සම්බන්ධතා මෙන්ම දූෂිත රේගු නිලධාරීන්ගේ සහාය ලැබී ඇත්දැයි සොයා බැලීම සඳහා පොලිස් මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙම ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුරුළු උද්‍යානයේ කළමනාකරු සහ ගබඩා පාලකවරයා හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහාආරච්චි මහතා නියෝග කළේය. එමෙන්ම, පොලිස් මධ්‍යම විමර්ශන කාර්යාංශය අධිකරණයට කළ කරුණු දැක්වීම් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා,
කුරුළු උද්‍යානයේ හිමිකරු වන අජිත් ගාල්ලගේ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කළේය. ඔහුට විදෙස් ගමන් තහනමක්ද පනවනු ලැබීය.
කුරුල්ලන් සඳහා ආහාර ගෙන්වීමේ මුවාවෙන් මෙම අධිබල යතුරුපැදි තොගය මෙරටට ආනයනය කර ඇති බවට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලද පෞද්ගලික තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ. කුරුළු උද්‍යාන පරිශ්‍රයේ පිහිටි ගබඩාවක සූක්ෂම ලෙස සඟවා තිබූ යතුරුපැදි 21ක් මෙහිදී පොලිස් භාරයට ගැනිණි.
මෙම යතුරුපැදි අතරින් 13ක්ම අධිධාරිතා එන්ජින් සහිත ඒවා බව හඳුනාගෙන ඇත. ඒවාට අශ්වබල 1000ක ධාරිතාවෙන් යුතු ඇමරිකානු නිෂ්පාදිත යතුරුපැදි 08ක්, එම ධාරිතාවෙන්ම යුතු ත්‍රිරෝද යතුරුපැදි 04ක් සහ චීන නිෂ්පාදිත ත්‍රිරෝද යතුරුපැදියක් අයත් වේ. මීට අමතරව හොන්ඩා වර්ගයේ ස්කූටර් 03ක් සහ හොන්ඩා අශ්වබල 90 වර්ගයේ යතුරුපැදි 05ක්ද සොයාගත් භාණ්ඩ අතර විය. අත්අඩංගුවට ගත් අධිබලැති යතුරුපැදියක වටිනාකම රුපියල් කෝටි එකහමාරක් පමණ වන බවට පොලිසිය ගණන් බලා තිබේ.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ පූර්ණ උපදෙස් හා මඟපෙන්වීම යටතේ, පොලිස් මධ්‍යම විමර්ශන කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණයෙන්, එහි අධ්‍යක්ෂ, පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරී කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval