cyber-engineer-attacked-and-property-looted-in-colombo

කොළඹ 12, ශාන්ත සෙබස්තියන් වීදියේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි සයිබර් ආරක්ෂක ඉංජිනේරුවරයෙකුගේ මාර්ගය අවහිර කළ පස්දෙනෙකුගෙන් යුත් කල්ලියක්, ඔහුට තර්ජනය කර රුපියල් 1,132,500ක් පමණ වටිනා දේපළ කොල්ලකා පලාගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලීසිය පවසයි.





පෞද්ගලික විදුලි සංදේශ සමාගමක සේවය කරන මෙම ඉංජිනේරුවරයා, පසුගිය 26 වන සෙනසුරාදා අලුයම සේවය නිමවා සිය මෝටර් රථයෙන් පැමිණෙමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ පා තිබේ. ඔහුගේ මෝටර් රථය ඉදිරියට පැමිණි කොල්ලකරුවන් ගඩොල් කැබැල්ලකින් පහරදෙන බවට තර්ජනය කර රථය නවත්වාගෙන ඇත. ඉන් අනතුරුව ඉංජිනේරුවරයාව බලහත්කාරයෙන් රථයෙන් එළියට ඇද දමා, ඉස්කුරුප්පු නියනක් පෙන්වා තර්ජනය කර ඔහුගේ ජංගම දුරකථනය සහ මුදල් පසුම්බිය කොල්ලකා තිබේ.



එම අවස්ථාවේදීම මෝටර් රථයට ඇතුළු වූ අනෙක් කොල්ලකරුවන් දෙදෙනා, රථය තුළ තිබූ තවත් ස්මාර්ට් ජංගම දුරකථනයක් සහ රන් මාලයක්ද කොල්ලකා පළාගොස් ඇත.

සිද්ධියෙන් පැය කිහිපයකට පසු, එදිනම උදෑසන 6.45ට පමණ, කොල්ලකරුවන් විසින් ඉංජිනේරුවරයාගේ ක්‍රෙඩිට් පත භාවිතා කර දෙහිවල ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලකින් රුපියල් 23,000ක භාණ්ඩ මිලදී ගෙන ඇති බවටද විමර්ශනවලදී හෙළිවී තිබේ. කෙසෙල්වත්ත පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.