
සිය පුත්‍රයා සමඟ ඇතිවූ ආරවුලක් මුල්කරගෙන නිවසට පැමිණ බිරිඳට පහරදීමට උත්සාහ කළ පිරිසකට, පියෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීම නිසා එක් අයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇතැයි මාතලේ පොලීසිය පවසයි. මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ පලාපත්වල, සාප්පුවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි සුපුන් චතුරංග රත්නායක නැමැති තරුණයෙකි.
මියගිය තරුණයා ඇතුළු පිරිස, සැකකරුගේ වැඩිමහල් පුත්‍රයා සමඟ දින කිහිපයක සිට පැවති ආරවුලක් හේතුවෙන් ඉරිදා (27) දින නිවසට පැමිණ ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවී තිබේ. එහිදී ඔවුන් නිවසේ සිටි මවට පහරදීමට උත්සාහ කිරීමත් සමඟ පියා විසින් මෙම පහරදීම සිදුකර ඇත. ප්‍රහාරයෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා මාතලේ රෝහලේ ප්‍රතිකාර ලබයි.
මෙම ඝාතනය සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උසස් තනතුරක් දරන නිලධාරියෙකු බව පොලීසිය තහවුරු කරයි. මාතලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval