රත්නපුර, කහවත්ත ප්‍රදේශයේ පසුගිය ජූනි 30 වැනිදා සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය 22 හැවිරිදි ඉමන්ත සුරන්ජිත් තරුණයාගේ අවසන් කටයුතුවලින් පසුව පොලීසිය සහ ප්‍රදේශවාසීන් අතර අද (ජූලි 03) පස්වරුවේ නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබේ. මෙම නොසන්සුන් තත්ත්වය පාලනය කිරීමට පොලීසිය කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර, ගැටුම හේතුවෙන් පොලිස් රථ කිහිපයකට ද හානි සිදුව ඇත.
පහළගම විතානලාගේ ඉමන්ත සුරන්ජන් තරුණයාගේ අවසන් කටයුතු අද (ජූලි 03) පස්වරුවේ පලන්සූරියගම පවුලේ සුසාන භූමියේදී සිදු කෙරුණු අතර, ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 150ක් පමණ යොදවා තිබිණි. අවසන් කටයුතු නිමවී ගම්වාසීන් ආපසු නිවෙස් බලා යමින් සිටියදී පොලීසිය සහ ගම්වාසීන් අතර ගැටුමක් ඇති විය.
ගම්වාසීන් චෝදනා කර ඇත්තේ, ඝාතනයට පෙර සිද්ධියට මැදිහත් වන ලෙස ඉල්ලීම් කළද, ඊට ප්‍රතිචාරයක් නොදැක්වූ පොලීසිය, ඝාතනයෙන් පසු පොලිස් ආරක්ෂාව අවශ්‍ය නැති බවටයි. ඒ අවස්ථාවේ පොලීසිය හා ගම්වාසීන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවී ඇති අතර, ගම්වාසීන් පිරිසක් පොලීසියට ගල්මුල්වලින් පහර දී ඇත.
පොලිස් කණ්ඩායම ප්‍රදේශයෙන් ඉවත්වීමත් සමඟ, කලහකාරීව හැසිරුණු පිරිස මෙම ඝාතනය සම්බන්ධයෙන් ගම්වාසීන් විසින් චෝදනා කරන පුද්ගලයාගේ නිවස දෙසට පා ගමනින් යෑමට උත්සාහ කර ඇත.
මෙම පිරිසගේ ගමන නැවැත්වීමට ප්‍රදේශයේ ආරක්ෂාවට යොදවා සිටි කැරළි මර්දන පොලිස් කණ්ඩායම් උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේදී ද ගම්වාසීන් හා පොලීසිය අතර නැවත ගැටුමක් ඇති වී තිබේ.
තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පලන්සූරියගම ප්‍රදේශයේ පදිංචි අමිත් නමැති පුද්ගලයාගේ නිවස ඉදිරිපිට ගම්වාසීන් රැස්වූ අවස්ථාවේ, ඔවුන් විසුරුවා හැරීමට පොලීසිය කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම අවස්ථාවේ පිරිසක් සැකකරුගේ නිවසේ තිබූ ත්‍රීරෝද රථයකට ගිනි තබා ඇති බව පොලීසිය පවසයි.
කලබලකාරී ලෙස හැසිරුණු පිරිස විසුරුවා හැරීම සඳහා පොලීසිය කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර, ගම්වාසීන් ද පොලීසියට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇත.
මෙම ගැටුමේදී පොලීසියේ සහ ගම්වාසීන් කීප දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. තුවාල ලැබූවන් අතර පොලිස් කාන්තාවක ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු මෙන්ම, ගම්මානයේ කාන්තාවක ඇතුළු තවත් දෙදෙනෙකු ද සිටින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි. තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා කහවත්ත රෝහලට ඇතුළත් කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්වාසීන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව සිටිති.
පසුගිය ජූනි 30 වැනිදා රාත්‍රීයේ කහවත්ත, බුංගිරිය, පලන්සූරියගම ප්‍රදේශයේ නිවසක සහෝදරයන් දෙදෙනෙකු තවත් තරුණයෙකු සමඟ කතාබහ කරමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ දී ඇත. එහිදී පොලීසිය ලෙස පෙනී සිටි කණ්ඩායමක් විසින් තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් එක් තරුණයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇත. පැහැරගෙන යනු ලැබූ අනෙක් තරුණයා වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල සහිතව රෝහල්ගත කර ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබාදීම හේතුවෙන් තරුණයා ඝාතනය වූ බව වාර්තා වේ. මෙම සිදුවීමෙන් පසුව කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි යාපනය පොලිස් කොට්ඨාශයට මාරු කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, අවසන් කටයුතුවලින් පසු ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් ද විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇති පුද්ගලයා සම්බන්ධයෙන් පොලීසිය විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අමතර පොලිස් නිලධාරීන් යොදවා ඇත.
ප්‍රදේශවාසීන් සහ පොලීසිය අතර උත්සන්න වූ තත්ත්වය සමනය කිරීම සඳහා ඉහළ පොලිස් නිලධාරීන් ද ප්‍රදේශයට පැමිණ සිටින බවත්, ඔවුන් මැදිහත් වී තත්ත්වය සමථයකට පත් කිරීමට කටයුතු කරන බවත් තවදුරටත් වාර්තා වේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලීසිය සඳහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval