charter-batta-arrested-in-payagala

කළුතර ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගත් ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු වන "චාටර් බට්ටා" නැමැත්තා ඇතුළු දෙදෙනෙකු පයාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබේ. ඉකුත් 27 වනදා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස පෙනී සිටිමින් යතුරුපැදියකින් ගොස් මෙම සැකකරුවන් කප්පම් ගැනීමේ නිරතව ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබිණි. ප්‍රධාන සැකකරු වන 36 හැවිරිදි "චාටර් බට්ටා" සොරකම් කිහිපයකට වරදකරු වී වසර පහක සිර දඬුවමක් විඳ මීට මාස කිහිපයකට පෙර නිදහස් වූවෙකි.

කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත. කප්පම් ගැනීම සඳහා යොදාගත් යතුරුපැදිය, ඉකුත් වෙසක් පොහෝ දින කළුතර බෝධිය අසලින් සොරකම් කරන ලද්දක් බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

එම සොරකම් කරන ලද යතුරුපැදියට, ප්‍රධාන සැකකරුට අයත් වෙනත් යතුරුපැදියක අංක තහඩුවක් සවිකර තිබූ බව ද පොලීසිය අනාවරණය කරගෙන ඇත.

දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් වන මෙම සැකකරුවන් සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය, කප්පම් ගැනීමට යොදාගත් යතුරුපැදිය සහ ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන තිබේ. ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතය.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනී පද්මිනී වීරසූරිය සහ කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර යන මහත්ම මහත්මීන්ගේ උපදෙස් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.