සීදුව කටුනායක නගර සභාව නියෝජනය කරන ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියකගේ පියා ඉලක්ක කර ගනිමින් පෙරේදා රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ඔහු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ. මෙම වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකුගෙන් සීදුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය මේ වන විට දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටියි.
රාජපක්ෂ පුර ප්‍රදේශයේ වෙළෙඳසලක් අසල රැඳී සිටි අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් පිටුපස අසුනේ සිටි අයෙකු විසින් රිවෝල්වරයකින් වෙඩි තබා පළාගොස් ඇත. පනස් තුන් හැවිරිදි වියේ පසුවන, විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු වන ග්‍රේෂන් ප්‍රැන්සිස් සොයිසා නමැති මෙම පුද්ගලයාගේ උදරයට, පාදයකට සහ හිසට වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බව පොලිසිය තහවුරු කරයි.
අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරනු ලබන සැකකාර සහෝදරයන් දෙදෙනා, ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බවට සැලකෙන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘වැලි චමින්ද’ නැමැත්තාගේ පුතුන් බවට පොලිස් ආරංචි මාර්ග ඔස්සේ අනාවරණය වී තිබේ.
මෙම වෙඩි තැබීමට තුඩු දුන් නිශ්චිත හේතුවක් මෙතෙක් හෙළිදරව් වී නොමැති අතර, තුවාලකරු කිසිදු අපරාධයකට හෝ නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ අයෙකු නොවන බවට මූලික විමර්ශනවලදී තොරතුරු ලැබී ඇති බව පොලිසිය සඳහන් කරයි. සිද්ධිය වූ ස්ථානයේ තිබී හිස් උණ්ඩ කොපු හතරක් විමර්ශන කණ්ඩායම් විසින් සොයාගෙන ඇති අතර සීදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Comments
Post a Comment
Your comment will be visible after approval