ව්‍යාජ ගමන් බලපත්‍ර යොදා ගනිමින් සෞදි අරාබියේ ගෘහ සේවයට යැවූ දහතුන් හැවිරිදි දැරියකගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින විදෙස් රැකියා ඒජන්සියකට එරෙහිව මිනිස් වෙළෙඳාම වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු නොකරන්නේ නම්, ඊට අදාළ හේතු ලිඛිතව ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය නීතිපති දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් නිකුත් කළාය.
වසර 2012 දී මරදාන ප්‍රදේශයේ පිහිටි නිව් නිත්‍යානි එන්ටප්‍රයිසස් නම් රැකියා ඒජන්සිය විසින් අවිස්සාවේල්ල,
පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ගනේශලිංගම් ක්‍රිෂාන්ති නමැති බාලවයස්කාර දැරිය, ගමගේ අනුහාරා නිශංකා සෙව්වන්දි නමැති වෙනත් කාන්තාවකගේ ගමන් බලපත්‍ර භාවිත කරමින් සෞදි අරාබියට යවා තිබිණි. එහිදී සේවයේ නිරතව සිටියදී 2015 වසරේ මැයි මස 06 වන දින ඇය මියගොස් තිබූ අතර, මෙම සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සමන්මලී සිරිවර්ධන මහත්මිය අධිකරණයට දන්වා සිටියේ, සිද්ධියට අදාළ සැකකරුවන් වන ආයතන හිමිකරු මොහොමඩ් උවයිස් මොහොමඩ් මිදාන් ඇතුළු තිදෙනාට එරෙහිව මිනිස් වෙළෙඳාම හා ආගමන විගමන යන පනත් යටතේ නඩු පවරන ලෙස කාර්යාංශයේ සභාපතිවරයා නීතිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබියදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපති උපදෙස් මත ආගමන විගමන පනත හා කාර්යාංශ පනතේ 63 වන වගන්තිය යටතේ පමණක් චෝදනා ගොනු කිරීමට කටයුතු කර ඇති බවයි. මෙමගින් අපරාධයේ බරපතළකම අඩු කොට දැක්වීමට උත්සාහ දරන බවට නීතීඥවරිය අධිකරණය හමුවේ කරුණු ගොනු කළාය.
දැරියගේ මරණය සියදිවි නසාගැනීමක් බවට දුරකථන ඇමතුමකින් දැනුම් දීමෙන් අනතුරුව, මියගිය දැරියගේ මව සහ පියා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කර තිබේ. එම අවස්ථාවේදී අදාළ රැකියා ඒජන්සිය විසින් රුපියල් ලක්ෂ 25ක මුදලක් ලබාදී මෘත දේහය මෙරටට ගෙන්වීම වළක්වාලීමට උත්සාහ කර ඇති බවද අධිකරණයේදී හෙළි විය. කෙසේ වෙතත්, දෙමව්පියන්ගේ දැඩි ඉල්ලීම මත 2015 දෙසැම්බර් 10 වන දින දැරියගේ දේහය ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව, අවිස්සාවේල්ල
මහෙස්ත්‍රාත් අධිකරණ නියෝගයක් මත 2016 අප්‍රේල් 08 වන දින දැරියගේ දේහය ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් ද පවත්වා තිබේ. සිද්ධියෙන් වසර 9කට පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව මේ වන විට ඇප මත නිදහස්ව සිටී.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු තර්ක කළේ දැරිය විදෙස්ගත වූයේ 2012 වසරේදී බවත්, ඇයගේ දෙවසරක සේවා ගිවිසුම් කාලය 2014 දී අවසන් වූ බැවින් 2015 දී සිදුවූ මරණය සම්බන්ධයෙන් තම සේවාදායකයින්ට වගකීමක් නොමැති බවත්ය. දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය ඉහත නියෝගය නිකුත් කළ අතර, නඩුව නැවත ජූලි මස 31 වන දින කැඳවීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval