india-decides-to-issue-tourist-visas-to-chinese-forgetting-five-years-of-hostility

 වසර පහක දීර්ඝ විරාමයකින් අනතුරුව, චීන ජාතිකයන් සඳහා සංචාරක වීසා නිකුත් කිරීම යළි ආරම්භ කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ. මෙම ක්‍රියාවලිය 2025 ජූලි 24 වන දින සිට නැවත ක්‍රියාත්මක වන බව බීජිං හි පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය නිවේදනය කළේය. 2020 මාර්තු මාසයේදී කොවිඩ්-19 වසංගතය ව්‍යාප්ත වීමත් සමඟ

එහි ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස ඉන්දියාව සියලුම සංචාරක වීසා නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවූ අතර, එතැන් පටන් චීන පුරවැසියන් සඳහා වූ වීසා සේවාවන් අක්‍රියව පැවතුණි.



2020 ජූනි මාසයේදී ගල්වාන් නිම්නයේ ඉන්දීය සහ චීන හමුදා අතර ඇති වූ ප්‍රචණ්ඩ ගැටුම් සහ කොවිඩ්-19 වසංගතයේ බලපෑම හේතුවෙන් දෙරට අතර පැවති ගමනාගමනය සහ අන්‍යෝන්‍ය සබඳතා මුළුමනින්ම පාහේ බිඳ වැටී තිබිණි. ගල්වාන් සිදුවීමෙන් පසු දෙරට අතර සබඳතා 1962 යුද්ධයෙන් පසු පැවති දරුණුතම තත්ත්වයට පත් විය. පසුගිය වසර කිහිපය තුළ චීනය විසින් ඉන්දීය සිසුන් සහ ව්‍යාපාරිකයන් සඳහා වීසා නිකුත් කිරීම ආරම්භ කළ ද, සාමාන්‍ය සංචාරක කටයුතු සඳහා වූ සීමාවන් දිගටම පැවතුණි.

කෙසේ වෙතත්, පසුකාලීනව පැවති රාජ්‍ය තාන්ත්‍රික සහ හමුදා මට්ටමේ සාකච්ඡා වට කිහිපයක ප්‍රතිඵලයක් ලෙස පැන්ගොන්ග් විල, ගල්වාන් සහ හොට් ස්ප්‍රින්ග්ස් වැනි ආතතිකාරී කලාප කිහිපයකින් හමුදා ඉවත් කර ගැනීමට දෙපාර්ශ්වයම එකඟ විය. 2024 ඔක්තෝබර් මාසයේදී දෙප්සාන්ග් සහ දෙම්චොක් ප්‍රදේශවලින් ද හමුදා ඉවත් කර ගැනීමේ ගිවිසුමකට එළඹිණි. ඉන් දින කිහිපයකට පසු රුසියාවේ කසාන් නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් පැවති අතර, එහිදී ද්විපාර්ශ්වික සබඳතා යථා තත්ත්වයට පත් කිරීම සඳහා වැදගත් තීරණ රැසක් ගන්නා ලදී.



දැනට දෙරටේම අපේක්ෂාව වී ඇත්තේ ජනතාව අතර සම්බන්ධතා වර්ධනය කිරීමයි. ඒ සඳහා සෘජු ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට සහ කොවිඩ් වසංගතය හේතුවෙන් නතර කර තිබූ කෛලාෂ් මාන්සාරෝවර් වන්දනා ගමන යළි ආරම්භ කිරීමට ද සැලසුම් කර ඇත. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා ද ප්‍රකාශ කර ඇත්තේ ඉන්දු-චීන සබඳතා ක්‍රමයෙන් යහපත් දිශානතියකට ගමන් කරමින් පවතින බවයි.