bradman-weerakoon-bids-farewell
ශ්‍රී ලංකාවේ කීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙකු වූ දේශමාන්‍ය බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට 94 වන වියෙහි පසුවූ ඒ මහතා, මෙරට රාජ්‍ය නායකයන් රැසක් යටතේ සුවිශේෂී සේවාවක් ඉටු කළ පුද්ගලයෙකි. 

කළුතර සිරි කුරුස විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා, ගුරුතලාවේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය හැදෑරූ ඒ මහතා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව සහ සමාජ විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් හිමි කර ගත්තේය.

අනතුරුව ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයක් මත ඇමරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද ලබාගත් හෙතෙම  ශ්‍රී ලංකා සිවිල් සේවයට බැඳුණි.

ඔහුගේ දීර්ඝ රාජ්‍ය සේවා කාලය තුළ අග්‍රාමාත්‍යවරුන් හත් දෙනෙකුගේ සහ ජනාධිපතිවරුන් දෙදෙනෙකුගේ ලේකම්වරයා ලෙස කටයුතු කිරීම සුවිශේෂී සිදුවීමකි. 1953 දී අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ සහකාර ලේකම්වරයා ලෙස රාජකාරි ඇරඹූ ඒ මහතා, පසුව අග්‍රාමාත්‍යවරුන් වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, විජයානන්ද දහනායක, සිරිමාවෝ බණ්ඩාරනායක සහ ඩඩ්ලි සේනානායක යන මහත්ම මහත්මීන් යටතේ ද අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සේවය කළේය.



කෙසේ වෙතත්, 1970 දී බලයට පත් සිරිමාවෝ බණ්ඩාරනායක රජය විසින්, පෙර පැවති රජයට පක්ෂපාතී වූ බවට සලකා ඔහුව මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවල දිසාපතිවරයා ලෙස ස්ථාන මාරු කරන ලදී. 1976 දී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගෙන ජාත්‍යන්තර පවුල් සැලසුම් සම්මේලනයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළද, 1977 දී ජේ. ආර්. ජයවර්ධන රජය විසින් ඔහුව නැවත කැඳවා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් ධුරයේ පිහිටුවන ලදී.

අනතුරුව 1980 දී අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතාගේ ලේකම්වරයා ලෙස පත් වූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා, 1983 කළු ජූලියෙන් පසු අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙස ද විශේෂ කාර්යභාරයක් ඉටු කළේය. පසුව ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙසත්, ජනාධිපති ඩී. බී. විජේතුංග මහතා යටතේත් උපදේශකවරයෙකු ලෙසත් කටයුතු කර, 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බලයට පත්වීමත් සමඟ සිය තනතුරෙන් ඉල්ලා අස්විය.

කෙසේවුවද, 2001 දී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමත් සමඟ ඔහු නැවතත් අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට පත් කරන ලදී. එවක පැවති සාම ක්‍රියාවලියේදී ඒ මහතා ප්‍රබල භූමිකාවක් නිරූපණය කළ අතර, සිය දීර්ඝ සේවා කාලයේ අත්දැකීම් ඇතුළත් කරමින් 'රෙන්ඩරින් අන්ටු සීසර්' (Rendering Unto Caesar) නමින් ග්‍රන්ථයක් ද රචනා කළේය.