
පදියතලාව, මරංගල ප්‍රදේශයේ නිවසකට කඩා වැදුණු පුද්ගලයෙකු 22 හැවිරිදි තරුණියකගේ ගෙල කපා ඝාතනය කර, ඇගේ දෙමව්පියන්ට ද තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල සිදු කර, පසුව ඔහුද ගෙල කපාගෙන සියදිවි නසාගැනීමේ ඛේදවාචකයක් ඊයේ (23) අලුයම වාර්තා විය.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඩී.එම්. සරෝජා උදයංගනී නමැති තරුණියකි.
ඇයගේ 63 හැවිරිදි පියා සහ 62 හැවිරිදි මව බරපතල තුවාල සහිතව මඩකළපුව මහ රෝහලට ඇතුළත් කර තිබේ. ඝාතනය සිදුකළ බවට සැකකෙරෙන, තරුණියගේ මොනරාගල ප්‍රදේශයේ පදිංචි පෙම්වතා බව කියන පුද්ගලයාගේ සිරුරද නිවස ආසන්නයේ තිබී සොයාගෙන ඇත.
පොලිස් පරීක්ෂණවලට අනුව, වසර තුනකට අධික කාලයක් පැවති මෙම තරුණියගේ ප්‍රේම සම්බන්ධයට ඇගේ දෙමව්පියන් මෑතකදී විරුද්ධත්වය පළ කර තිබේ. එම විරෝධයත් සමඟ තරුණිය කොළඹ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයට ගොස් මෙම සිදුවීමට දින තුනකට පෙර නැවත ගමට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇත. ඇය වෙනත් තරුණයෙකු සමඟද සබඳතාවක් පැවැත්වූ බවට ගම්වාසීන් අතර කතාබහක් පවතින බවද වාර්තා වේ.
පොලිසිය පවසන්නේ පහරකෑමට ලක්වූ තරුණිය සිය බාප්පාගේ නිවස දෙසට මීටර් 150ක් පමණ දිව ගොස් ඇද වැටී මියගොස් ඇති බවයි. සැකකාර පෙම්වතාගේ ගෙලෙහිද ගැඹුරු කැපුම් තුවාලයක් ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිවී තිබේ. ඔහු පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදියක්ද සිද්ධිය වූ ස්ථානය ආසන්නයේ නවතා තිබියදී සොයාගෙන ඇත.
පදියතලාව පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක රෝහිත ගුණසේන මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන පවත්වයි. දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත්වරයාගේ පැමිණීමෙන් පසු සැකකරුගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමට නියමිත අතර, ඉන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය කරගත හැකිවනු ඇතැයි පොලිසිය විශ්වාසය පළ කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval