වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමේ තීරණාත්මක සභා රැස්වීම අද (24) පැවැත්වීමට නියමිතව තිබියදී, ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකුගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක හඬ පටයක් අනාවරණය වී තිබේ. එම වෙඩි තැබීම පිටුපස සිටින්නේ විපක්ෂය නොව, ආණ්ඩු පක්ෂයේම පිරිසක් බවට වෙඩි ප්‍රහාරයට ලක්වූ මන්ත්‍රීවරයාම සැක පළ කරන දුරකතන සංවාදයක් මෙලෙස මාධ්‍ය වෙත නිකුත් කර ඇත.
සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක පුෂ්පකුමාර බැට්ටගේ මහතා විසින් ඊයේ (23) අකුරැස්සේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම හඬ පටය නිකුත් කර තිබේ. එහි අන්තර්ගත වන්නේ වෙඩි ප්‍රහාරයට ලක්වූ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කාර සහ එම සිද්ධියට මුලින් චෝදනා ලැබූ සමගි ජන බලවේගයේ මන්ත්‍රී ලසන්ත වික්‍රමසේකර අතර සිදුවූ සංවාදයකි.
එම හඬ පටයට අනුව, තමන්ට වෙඩි තැබුවේ ලසන්ත වික්‍රමසේකර නොවන බවට තමාට 99%ක් විශ්වාස බවත්, දේශපාලන වාසි සඳහා ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙස තමා සිය පක්ෂයේ දිස්ත්‍රික් නායකත්වයට දැන්වූ බවත් තාරක නානායක්කාර මහතා පවසයි. මෙම වෙඩි තැබීම සිදු කළේ තමන්ගේම පක්ෂයෙන්ද යන සැකය තමන්ටද පවතින බව ඔහු එහිදී පිළිගනී.
කෙසේ වෙතත්, මෙම සංවාදය පටිගත කර මාධ්‍ය වෙත ලබාදීම සම්බන්ධයෙන් තාරක නානායක්කාර මහතා පසුව ලසන්ත වික්‍රමසේකර මහතාට දුරකතනයෙන් කතා කර සිය දැඩි අප්‍රසාදය පළ කරන තවත් හඬ පටයක්ද මාධ්‍ය හමුවේදී නිකුත් කෙරිණි. එමගින් තමන්ගේ ආරක්ෂාවට සහ ජීවිතයට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවද නානායක්කාර මහතා එහිදී පවසා තිබේ.
වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමේ මංගල රැස්වීම පසුගිය ජුනි 27 වනදා පැවති නමුත්, ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පැහැරගත් බවට චෝදනා කරමින් ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් මත එය කල් තැබිණි. ඉන් අනතුරුව, පසුගිය ජූලි 16 වනදා පොලිස් ආරක්ෂාවද යොදවා සිටියදී තාරක නානායක්කාර මහතාගේ නිවසට වෙඩි ප්‍රහාරය එල්ල විය.
මෙම සියල්ල වැලිගම සභාවේ බලය අත්පත් කරගැනීම සඳහා ආණ්ඩු පක්ෂය විසින් මෙහෙයවනු ලබන 'නින්දිත නාටකයක්' බව සමගි ජන බලවේගය චෝදනා කරයි. විවිධ බාධක සහ මතභේද මැද කල් ගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා ගැනීමේ රැස්වීම අද (24) පැවැත්වීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval