
"රාජ්‍ය නීතිය සහ ආගම එකිනෙක පටලවා නොගන්න" යැයි අවධාරණය කළ අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා, දුම්රිය රක්ෂිතයක නීති විරෝධීව ඉදිකළ නිවසක් මාසයක් ඇතුළත ඉවත් කරගන්නා ලෙස භික්ෂුවකට නියෝග කළේය.
මීරිගම, විජය රජදහන ප්‍රදේශයේ දුම්රිය මාර්ග රක්ෂිතයේ නිවසක් ඉදිකර පදිංචිව සිටින කේ. සිරිවිමල නැමැති හිමිනමකට එරෙහිව දුම්රිය ආරක්ෂක අංශය විසින් මෙම නඩුව පවරා තිබිණි.
මීට පෙර නඩුව කැඳවූ අවස්ථාවේ, මාස දෙකක් තුළ එම ඉදිකිරීම ඉවත් කරගන්නා බවට අදාළ හිමිනම අධිකරණයට පොරොන්දු වී ඇත.
නඩුව පසුගිය සිකුරාදා (25) යළි කැඳවූ අවස්ථාවේ, එම පොරොන්දුව ඉටුකර නොමැති බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි දුම්රිය ආරක්ෂක අංශයේ උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත නන්දනතිලක මහතා අධිකරණයට දන්වා සිටියේය. එහිදී විත්තිකාර හිමිනම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා, ඉදිරියේදී පැවැත්වීමට නියමිත කඨින පූජෝත්සවයක් හේතුවෙන් ඉවත් කර ගැනීමට නොහැකි වූ බව පවසා ඒ සඳහා තවත් කල් ඉල්ලා තිබේ.
එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, නීතිය සැමට පොදු බවත්, ආගමික කටයුතු පදනම් කරගනිමින් රාජ්‍ය නීතිය කඩකළ නොහැකි බවත් අවධාරණය කළේය.
නියමිත මාසය තුළ එම ස්ථානය ඉවත් නොකළහොත්, එය කඩා ඉවත් කර, ඒ සඳහා යන වියදම විත්තිකාර හිමිනමගෙන් අයකර ගැනීමට පියවර ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ලට නියෝග කළේය. නඩුව අගෝස්තු මස 24 වන දා යළි කැඳවීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval