former-dig-priyantha-jayakody-arrested-based-on-a-false-complaint

 සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුගෙන් මරණ තර්ජන එල්ල වූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අසත්‍ය තොරතුරු සපයමින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ චෝදනාව මත හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුවන අවස්ථාවේදී ඒ මහතා රෝගාබාධයක් හේතුවෙන් රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැකවල් යටතේ රෝහල්ගතව පසුවෙයි.


මෙම සිදුවීමට මුල් වූයේ, විදේශගතව සිටින බව කියන 'කෙහෙල්බද්දර පද්මේ' නැමති සංවිධානාත්මක අපරාධකරු තමාට සහ සිය පවුලේ සාමාජිකයින්ට මරණීය තර්ජන එල්ල කරන බවට ප්‍රියන්ත ජයකොඩි මහතා විසින් සිදුකළ පැමිණිල්ලකි. එම පැමිණිල්ලට අදාළව කඩිනම් විමර්ශනයක් පවත්වන ලෙස වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය ජූලි 17 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි. විදේශීය දුරකථන අංකයකින් මෙම තර්ජනය එල්ල වූ බවට රහස් පොලිසිය අධිකරණයට මූලිකව කරුණු දක්වා තිබිණි.

කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද ගැඹුරු විමර්ශනවලදී මෙම පැමිණිල්ලේ සත්‍යතාව පිළිබඳව බරපතල සැක සංකා මතු වී තිබේ.

විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන ඇත්තේ, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින්ම සැලසුම් සහගතව මෙම ව්‍යාජ පැමිණිල්ල සකස් කර ඇති බවයි. 'ගණේමුල්ල සංජීව' නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් මෙන්ම මැලේසියානු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලායාම වැනි සිදුවීම්වලට සම්බන්ධ 'කෙහෙල්බද්දර පද්මේ' සමග තමාට පවතින බව කියන විරසකයක් මෙම පැමිණිල්ලට පදනම් කරගෙන තිබූ බවට මුල් වාර්තාවල දැක්විණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ දීර්ඝ විමර්ශණයේ ප්‍රතිඵලයක් ලෙස මෙම පැමිණිල්ල සම්පූර්ණයෙන්ම ගොතන ලද්දක් බවට කරුණු හෙළිදරව් වීමත් සමග ප්‍රියන්ත ජයකොඩි මහතාව අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ. මෙම සිදුවීම පොලිස් දෙපාර්තමේන්තුව අභ්‍යන්තරයේ මෙන්ම ජනතාව අතර ද දැඩි කතාබහට ලක්වූවකි.