ඉකුත් අප්‍රේල් මාසයේදී පහල්ගම් ප්‍රදේශයේදී සිවිල් වැසියන් 26 දෙනෙකු ඝාතනය කිරීමේ ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සුලෙයිමාන් ෂා ඇතුළු ත්‍රස්තවාදීන් තිදෙනෙකු ආරක්ෂක අංශ සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකින් මරණයට පත්ව ඇති බව ඉන්දියාව නිවේදනය කර තිබේ. ජම්මු හා කාශ්මීරයේ ශ්‍රීනගර් නුවරට නුදුරින් පිහිටි ලීඩ්වාස් ප්‍රදේශයේදී මෙම සිදුවීම අද (28) වාර්තා විය.
"ඔපරේෂන් මහාදේව්" ලෙස නම් කර තිබූ මෙම ඒකාබද්ධ මෙහෙයුම ඉන්දීය යුද හමුදාව, මධ්‍යම සංචිත පොලිස් බලකාය (CRPF) සහ ජම්මු හා කාශ්මීර පොලීසිය විසින් දියත් කරන ලදී. හෂීම් මූසා හෙවත් හෂීම් මූසා යන අනවර්ථ නාමවලින්ද හැඳින්වූ සුලෙයිමාන් ෂා, ලෂ්කර්-ඊ-තයිබා සංවිධානයේ ඉහළ පෙළේ අණදෙන්නෙකු මෙන්ම පාකිස්තානු හමුදාවේ විශේෂ සේවා කණ්ඩායමේ (SSG) හිටපු කොමාන්ඩෝ භටයෙකු බවටද තොරතුරු හෙළිවී ඇත.
ලැබුණු නිශ්චිත බුද්ධි තොරතුරක් මත,
සබර්වාන් සහ මහාදේව් කඳු වැටි අතර පිහිටි ඝන වනාන්තර ප්‍රදේශයක ආරක්ෂක අංශ විසින් මෙම මෙහෙයුම දියත් කර තිබේ. එහිදී ඇතිවූ දරුණු වෙඩි හුවමාරුවේදී සුලෙයිමාන් ෂා සමඟ අබු හම්සා සහ යාසීර් නමැති අනෙක් ත්‍රස්තවාදීන් දෙදෙනාද මරණයට පත්විය. ඔවුන් සැඟවී සිටි ස්ථානයෙන් එම්4 කාබයින් රයිෆලයක්, ඒකේ-47 වර්ගයේ රයිෆල් දෙකක් සහ අත්බෝම්බ 17ක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් විය.
පහල්ගම් ප්‍රහාරයට අමතරව, පසුගිය වසරේ ශ්‍රීනගර්-සොන්මාර්ග් මහාමාර්ගයේදී සේවකයන් හත් දෙනෙකු ඝාතනය කිරීම සහ බරමුල්ලා ප්‍රදේශයේදී ආරක්ෂක නිලධාරීන් සිව් දෙනෙකු ඝාතනය කිරීම වැනි සිදුවීම් රැසකටද සුලෙයිමාන් ෂා සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබිණි. ඔහු පිළිබඳ තොරතුරක් ලබාදෙන්නෙකුට ඉන්දීය රුපියල් ලක්ෂ 20ක (20,00,000) ත්‍යාගයක් පිරිනමන බවටද මීට පෙර නිවේදනය කර තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval