කල්පිටිය පොලිස් සිරමැදිරියේ රඳවා සිටි සිය සැමියා වෙත ආහාර පාර්සලයක් තුළ සඟවා හෙරොයින් මත්ද්‍රව්‍ය රැගෙන ආ කාන්තාවක් කල්පිටිය පොලිසිය විසින් ඊයේ (24) දින අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය විසින් රැගෙන ආ පරාටා නමැති ආහාරය පරීක්ෂා කිරීමේදී, ඒ තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ මිලිග්‍රෑම් 2,400ක් බර හෙරොයින් පැකට් හතරක් සොයා ගැනීමට පොලිසිය සමත් වී ඇත.
මෙම කාන්තාවගේ සැමියා, හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාව මත පෙරේදා (23) රාත්‍රියේ කන්දකුලිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී පොලිස් අත්අඩංගුවට පත්වූවෙකි.
ඔහුව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඔහුගේ බිරිඳට එරෙහිව 2022 අංක 41 දරණ විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥා පනත යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කළේය.